කොළඹ වරායේ බහලූ මෙහෙයුම් අපේ‍්‍රල් (2019) මසදී 9.1% ප‍්‍රතිශතයකින් ඉහළට

පසුගිය වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව මේ වසරේ අප්‍රේල් මාසයේදී කොළඹ වරායේ බහළු මෙහෙයුම් ධාරිතාව 9.1%කින් වර්ධනය වී ඇත. මෙම වර්ධනය ලඟා කර ගැනීම සඳහා කොළඹ වරායේ, ජයබහළු පර්යන්තය, සවුත් ඒෂියා ගේට්වේ පර්යන්තය, කොළඹ අන්තර් ජාතික බහළු පර්යන්තය යන පර්යන්ත ති‍්‍රත්වය එක්ව කටයුතු කළ අතර, සියලූ පර්යන්තයන්ගේ වාර්ෂික ධාරිතාව මේ වන විට 5.9%ක ප‍්‍රතිශතයකින් ද වැඩි වී ඇත.

2018 වර්ෂයේ අපේ‍්‍රල් මාසයේ දී කොළඹ වරායේ දී මෙහෙයවන ලද බහලූ ප‍්‍රමාණය ඒකක 441437 වූ අතර, එය 2019 වර්ෂයේ අපේ‍්‍රල් මාසයේ දී 482910 ලෙස වර්ධනය වී ඇත. ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය විසින් මෙහෙයවා ඇති හා අනෙකුත් පර්යන්ත මෙහෙයවා ඇති ප‍්‍රතිනැව්ගත බහලූ සංසන්ධනය කිරීමේ දී කොළඹ වරායේ ප‍්‍රතිනැව්ගත (T/S) බහලූ මෙහෙයවීමද 8.6% කින් වර්ධනය වී ඇත. විශේෂයෙන් ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට අයත් පර්යන්තයන් හි බහළු මෙහෙයවීම 10.5% කින් වර්ධනය වී ඇත.

බහළු මෙහෙයුම් වර්ධනය සඳහා වන ශ්‍රේණිගත කිරීමේ දී 2018 වර්ෂයේ දී, ලොව හොඳම වරායන් 30 අතර පළමු ස්ථානයට පත්වීමට කොළඹ වරායට හැකිවිය. එමෙන්ම අන්තර් ජාතික ඇල්ෆාලයිනර් දර්ශකයට අනුව අන්තර් ජාතික බහළු වරායන් අතර 2018 වර්ෂයේ දී 22 වන ස්ථානයට පත්වීමට කොළඹ වරායට හැකිවුණේ 13.5% ප‍්‍රතිශතයක වර්ධනයත් සමගිනි. 2017 වර්ෂයේ දී ඉහත දර්ශකයන් කොළඹ වරායට හිමිවනුයේ 23 වන ස්ථානයයි.

මෙම ජයග‍්‍රහණය කොළඹ වරාය විසින් ජාත්‍යන්තර වෙළෙඳ නාවික ඉතිහාසයේ ප‍්‍රථම වතාවට තබන ලද සුවිශේෂි ඉදිරි පියවර වන අතර, මේ හේතුවෙන් ආසියාව, මැදපෙරදිග හා යුරෝපයේ සියලූ වරායන් අභිබවා යාමට කොළඹ වරායට හැකිවිය.

එමෙන්ම, 2018 වර්ෂයේ දී කොළඹ වරාය ලොව හොඳම සහසම්බන්ධිත වරායයන් අතර 11 වන ස්ථානයට පත්විය. එය ද සුවිශේෂි ජයග‍්‍රහණය කී. මෙම ජයග‍්‍රහණයන් ලඟා කර ගන්නා අතරම, කොළඹ වරාය තුළ සියළු මෙහෙයුම් සඳහා වන ධාරිතාවන් පුළුල් කිරීමටත් අවශ්‍ය ඉදිරි සැළසුම් වෙනුවෙන් වන තීරණ වලට එළඹෙමින් සිටින බව මේ සම්බන්ධයෙන් අදහස් ප‍්‍රකාශ කරමින් වරාය හා නාවික, දක්‍ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය. එමෙන්ම, ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ එම තත්ත්වය සහතික වන්නේ කොළඹ වරායේ වර්ධනයේ ස්ථාවරත්වය අනුව බවයි. එමෙන්ම, මෙම අවස්ථාවේ ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය යොමුව සිටින්නේ කොළඹ වරාය පුළුල් කිරීමේ කටයුතු යුහුසුලූව සිදු කිරීමට බව ද පැවසී ය.

ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය 2019 වර්ෂයේ දී පවත්වන ලද ගෝලීය වරාය සංසදයේ දී පිට පිටම දෙවන වතාවටත් ‘‘වර්ෂයේ වරාය අධිකාරිය – 2019’’ සම්මානයට පාත‍්‍ර විය. ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ මෙම ජයග‍්‍රහණය සඳහා කළමණාකාරීත්වය, සේවක මහත්ම මහත්මීන්, ගණුදෙනුකරුවන් සහ සෑම දෙනෙකුගේම සහයෝගීතාවය ලැබුණි.

Leave a Reply

*

6 + five =