ප්‍රභාත් ජේ. මලවිගේ මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අභිනව කළමණාකාර අධ්‍යක්‍ෂවරයා ලෙසට පත්කෙරේ

වරාය, නාවික හා ගුවන්සේවා ගරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා නව කළමණාකාර අධ්‍යක්‍ෂවරයකු අද දින (29/05/2023) පත් කරන ලදී.

ශ්‍රී ලංකාවේ වරාය කළමනාකරණ හා සේවා සැපයුම් ක්‍ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ වෘත්තීය ප්‍රාමාණියෙකු වන ප්‍රභාත් ජේ. මලවිගේ මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ලෙස පත්කර ඇත. කීර්තිමත් වෘත්තිකයෙකු ලෙසින් පුරා වසර 18ක අඛණ්ඩ වෘත්තීයමය නිපුනතාවයකට හිමිකම් කියන ඔහු ක්‍ෂේත්‍රයේ ප්‍රගමනය සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙනුවෙන් නායකත්වය සපයන වෘත්තීයවේදීයෙකි. මාතර රාහුල විද්‍යාලයෙන් බිහිවු විශිෂ්ඨ ගණයේ විද්‍යාර්ථියෙකු වන ඔහු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්‍ෂ තනතුරට පත්වීම එම තනතුරේ තිරසරත්වය සඳහා වූ මහඟු පියවරක් ලෙස සැළකිය හැකි ය. එමෙන් ම එදා මෙදා තුර මෙම තනතුර සඳහා පත් වූ ලාබාලතම වෘත්තීයවේදියා ලෙස ද ප්‍රභාත් ජේ. මලවිගේ මහතා හඳුන්වාදිය හැකි ය.

සිය වෘත්තිය ජීවිතයේ ක්‍රමික වර්ධනය සඳහා ඔහුගේ වෘත්තීයම අත්දැකීම්වලට අමතරව ඔහු ලබා ඇති අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් ද ඔහුට ශක්තිමත් වෘත්තීය පසුබිමක් නිර්මාණය වීමට හේතු වී ඇත. ඔහු සිය ප්‍රථම උපාධිය ලෙස දේපළ කළමණාකරණ හා තක්සේරු පිළිබඳ විද්‍යාවේදී උපාධිය (Estate Management & Valuation) ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් හිමිකරගෙන තිබේ. භූගෝලීය තොරතුරු පද්ධති හා දුරස්ථ සංවේදනය පිළිබඳ (GIS & Remote Sensing) විද්‍යාපති උපාධිය ලබාගෙන ඇත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙනි. ව්‍යාපෘති කළමනාකරණය (Project Management) පිළිබඳව වූ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ඔහු මොරටුව විශ්වවිද්‍යාලයෙන් ලබා ගෙන ඇත. ඊට අමතරව ඔහු විසින් වරාය හා වෙළඳ නාවික ක්‍ෂේත්‍රය හා සේවා සැපයුම් මෙහෙයුම් සම්බන්ධයෙන් ද වූ ජාත්‍යන්තර මට්ටමේ පුහුණු වැඩසටහන්, සමුළු, සැසි හා සම්මන්ත්‍රණ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අවස්ථා ගණනාවකදී සහභාගී වී තිබේ.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමණාකාර අධ්‍යක්‍ෂවරයා ලෙස පත්වීම් ලැබීමට පෙර ඔහු එහි අතිරේක කළමණාකාර අධ්‍යක්‍ෂ ධූරයෙහි රාජකාරි කරනු ලැබීය. ඔහුගේ වරාය කළමණාකරණ හා සේවා සැපයුම් රාජකාරි වපසරිය අභිබවා ක්‍ෂේත්‍ර කිහිපයක සිය වෘත්තීය පලපුරුද්ධ හා අත්දැකීම් හා දක්‍ෂතා හුවමාරු කර ගැනීම පසුගිය දශක දෙකක පමණ කාලය තුළ දී ඔහු විසින් සිදුකොට ඇත. ඔහු සුදුසුකම් ලත් වෘත්තීයමය කථිකාචාර්යවරයෙකි. ඔහු පුහුණුකරුවෙකි. එසේම ඔහු භූගෝලීය තොරතුරු පද්ධති හා දුරස්ථ සංවේදනය සහ පරිශ්‍ර කලමණාකරණය පිළිබඳ වෘත්තියවේදියකි.

වරාය හා සේවා සැපයුම් කර්මාන්තයේ උන්නතිය සඳහා වූ නවෝත්පාදන හා කාලානුරූප වෙනස්කම් හී විශිෂ්ඨත්වය ඇති කිරීම සඳහා ඔහු තුළ වූ නිරන්තර කැපවීම හා ලැදියාව ඔහුගේ වෘත්තීය ජීවිතය පුරා දක්නට ලැබෙන සුවිශේෂි ගුණයකි. ආයතනයේ වර්ධනය හා ඉලක්ක සපුරාලීම සඳහා ඔහුගේ නිවැරදි දැක්ම හා සුපරික්ෂාකාරී අවධානය සුවිශේෂි කාර්යභාරයක් ඉටු කොට ඇත.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අභිනව කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ලෙස පත් වූ ප්‍රභාත් ජේ. මලවිගේ මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරිය තුල නව කාර්යක්‍ෂම යුගයක් ඇති කිරීමටත්, නව තාක්‍ෂණික ප්‍රවනතා එක්කිරීමටත්, වරාය කළමණාකරණය ඉතා දියුණු මට්ටමකට පත්කිරීමටත් අදහස් පෙර දැරිව නව ප්‍රවේශයකින් කටයුතු කරනු ඇත.

මෙම අවස්ථාවට වරාය, නාවික හා ගුවන්සේවා අමත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් ඩී. බර්නාඩ්, එහි උප සභාපති ගයාන් අල්ගේවත්තගේ යන මහත්වරුන් ද අධ්‍යක්‍ෂවරුන්, කොට්ඨාශ ප්‍රධානීන් ඇතුළු කිහිප දෙනෙක් ද සහභාගි වි ය.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අභිනව කළමණාකාර අධ්‍යක්‍ෂවරයා ලෙස පත් කරනු ලැබූ ප්‍රභාත් ජේ. මලවිගේ මහතා කාර්යාලයේදී සිය රාජකාරි අරභමින්. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් ඩී. බර්නාඩ්, උප සභාපති ගයාන් අල්ගේවත්තගේ යන මහත්වරුන් ද පසෙකින් වෙයි.

Leave a Reply

*

15 − twelve =