එක්ස්-ප්‍රෙස් පර්ල් නෞකාවේ සියලුම කාර්යය මණ්ඩලය ආරක්ෂිතව ඉවත්කෙරේ

එක්ස් -ප්‍රෙස් පර්ල් බහලු නෞකාවේ ඇතිවූ ගින්න අද උදෑසන වන විට තවදුරටත් ව්‍යාප්ත වීම හේතුවන් නෞකාවේ සිටි සියලුම කාර්ය මණ්ඩලය ආරක්ෂිතව ඉවත්කර ගන්නා ලදී. නෞකාවේ ගින්න නිවීමේ කටයුතු ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ නෞකාව අයත් සමාගම වන එක්ස්-ප්‍රෙස් ෆීඩර්ස් විසින් ස්ථානගත කොට ඇති ටග් යාත්‍රා මගින් තවදුරටත් සිදුකරනු ලැබේ.

පවතින තත්වය නිරීක්ෂණය කිරීම සඳහා වරාය සහ නාවික අමාත්‍යය ගරු රෝහිත අබේගුණවර්ධන මහතා කොළඹ වරායේ නියමු මධ්‍යස්ථානයට අද උදෑසන පැමිණියේය. අමාත්‍යවරයා පවතින තත්වය නිරීක්ෂණය කිරීමෙන් පසු ජනමාධ්‍යය වෙත මෙසේ අදහස් දැක්වීය.

“ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ අනෙකුත් වගකිවයුතු ආයතන සියල්ලම ඉතාම සුහදව මෙම අවස්ථාවේදී කටයතු කරනවා. මෙම නෞකාවේ හටගත් ගින්න නිවීම සඳහා අපි හැකි උපරිමයෙන් උත්සහ කරමින් සිටිනවා. එම ගින්න ඊයේ උදෑසන වන විට වඩාත් හොඳින් පාලනය කර තිබුණත් පවතින කාලගුණික තත්වය සහ නෞකාවේ ඇති රසායන ද්‍රව්‍යය වල සිදුවන අඛණ්ඩ ප්‍රතික්‍රියා නිසා එය යළිත් ගටගෙන තිබෙනවා,” යැයි අමාත්‍යය අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

“පවතින තත්වය සැලකිල්ලට ගනිමින් නෞකාවේ සියලුම කාර්යය මණ්ඩලය ආරක්ෂිතව ඉවත් කර ගැනීමටත්, ඔවුහු මෙරට බලාත්මක කොට ඇති සෞඛ්‍යාරක්ෂණ රෙගුලාසි වලට අනුකූලව ආරක්‍ෂිත ස්ථාන වල රැඳවීමටත් මේ වන විට කටයුතු කොට තිබෙනවා. එසේම, මෙරට මුහුදු කලාපයට සහ පරිසරයට හානියක් සිදු නොවන ආකාරයෙන් මෙහි ඉදිරි වැඩකටයුතු සිදු කිරීම සඳහා අපි සැලසුම් සකස් කොට තිබෙනවා” එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

*

13 + twelve =