සගයෙකුගේ නික්මයෑම

අප පුවත් වෙබ් අඩවියේ දෙමළ සංස්කරණයේ, සංස්කාරක ලෙස කටයුතු කළ ඒ. සී. එම් . කේ. රහමන් මහතා හදිසියේ ඇති වූ රෝගාතුර තත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වීම දරාගත නොහැකි වේදනාවක් ගෙනදෙන සිදුවීමකි. තම උපන් ප්‍රදේශය වූ වූ සම්මන්තුරේ මස්ජිදුල්සලල් මුස්ලිම් දේවස්ථාන සුසාන භූමියේ දී ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකරනු ලැබීය.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සහකාර කළමණාකාරවරයෙකු වශයෙන් සේවය කළ ඔහු අප ආයතනයේ දියුණුව වෙනුවෙන් විශාල කාර්යය භාර්යයක් සිදුකළ නිලධාරියෙකි. විශේෂයෙන් කොවිඩ් වසංගතය හේතුවෙන් පීඩා විඳීමට සිදු වූ අවස්ථාවේ විශාල කැප කිරීමක් කරමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මෙහෙයුම් සාර්ථක කර ගැනීමට ඔහු ලබා දුන් දායකත්වය ප්‍රසංසනීය වේ. කොවිඩ්-19 වසංගතය තුරන් කිරීමේ මාර්ගපොදේශය සකස් කිරීමේදී සහ ඊට අදාළ මෙහෙයුම් මැදිරියේ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ඔහු ලබාදුන් දායකත්වය මෙහිදී සිහිපත් කිරීම වැදගත්ය.

රහමන් මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කටයුතු වලට අමතරව දශක ගණනාවක් තිස්සේ මාධ්‍යවේදියෙකු ලෙස ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ඇතුළු මාධ්‍යය ආයතන රාශියක සේවය කළේය. දෙමළ බස කතා කරන බොහෝ දෙනෙකු අතර ජනාදරයට පාත්‍ර වූ මෙම සත්පුරුෂයාගේ හදිසි වියෝවෙන් ඇති වූ හිඩැස කිසිදා පිරවිය නොහැකි බව අපට සිතේ.

අපගේ පුවත් වෙබ් අඩවිය ආරම්භ කළ අවධියේ සිටම එහි සාර්ථකත්වය වෙනුවෙන් තම අවංක දායකත්වය ලබා දුන් රහමන් මහතා, වෙබ් අඩවිය දෙමල බස පරිශීලනය කරන පාඨකයින් අතර ප්‍රචලිත කිරීමට විශාල සහයෝගයක් ලබාදෙනු ලැබීය.

අපි ඔහුගේ ඇදහීමට අනුව ඔහු ප්‍රර්ථනා කළ ස්වර්ගයට ඇතුළුවීමට ඔහුට හැකි වේවා යැයි ප්‍රාර්ථනය කරන්නෙමු.

සංස්කාරක මණ්ඩලය

Leave a Reply

*

two × five =