කොවිඩ් -19 වසංගත තත්ත්වය පාලනයෙන් පසු ජයබහලු පර්යන්තයට පැමිණි පළමු නෞකා සේවාව HR Line හී MV/ HR HARERA නෞකාව මෙහෙයුම් අරඹයි

කොවිඩ් -19 වසංගත තත්ත්වය ශ්‍රී ලංකාව තුළත් විශේෂයෙන්ම කොළඹ වරාය තුළත් මනාව පාලනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජයබහලු පර්යන්තයට නව නැව් සේවාවන් ආකර්ෂණය කර ගැනීමේ අවස්ථාව උදා වී ඇත. ඒ අනුව, බංගලාදේශයට අයත් HR Line නැව් සේවාවේ MV/HR Harera බහලු ප්‍රවාහන (පෝෂක) නෞකාව 2022.03.11 වන දින කොළඹ වරායේ ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ජයබහළු පර්යන්තයට(JCT) පැමිණියේ ය.

ඒ වෙනුවෙන් ජයබහළු පර්යන්තයේ දී පිළිගැනීමේ අවස්ථාවක් සංවිධානය කොට තිබූ අතර, ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහකොමසාරිස් අතිගරු තාරෙක් මොහොමඩ් අරිෆුල් ඉස්ලාම් මහතාගේ හා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා නෞකාවේ දේශීය නියෝජිත ආයතනය වන හේලීස් ඇඩ්වාන්ටීස් සමාගම හී අනුබද්ධ සමාගම වන ක්ලැරියෝන් ෂිෆින් සමාගම වෙනුවෙන් රුවන් වෛද්‍යරත්න, කළමණාකාර අධ්‍යක්‍ෂ (හේලීස් ඇඩ්වාන්ටීස් සමාගම) තරංග පෙරේරා, අධ්‍යක්‍ෂ/ප්‍රධාන විධායක නිලධාරී (ක්ලැරියෝන් ෂිෆින් සමාගම) යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණී.

HR Harera නෞකාව කොළඹ වරායට පැමිණීම සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහකොමසාරිස් අතිගරු තාරෙක් මොහොමඩ් අරිෆුල් ඉස්ලාම් මහතා හා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න මහතා අතර ද, බංගලාදේශ මහකොමසාරිස් අතිගරු තාරෙක් මොහොමඩ් අරිෆුල් ඉස්ලාම් මහතා හා හේලීස් ඇඩ්වාන්ටීස් පුද්ගලික සමාගමේ කළමණාකාර අධ්‍යක්‍ෂ රුවන් වෛද්‍යරත්න මහතා අතරද, HR Line නෞකා සේවාවේ දේශීය නියෝජිත කැලැරියෝන් ෂිෆින් සමාගම වෙනුවෙන් හේලීස් ඇඩ්වාන්ටීස් සමාගමේ සමූහ අධ්‍යක්‍ක්‍ෂ සහනෝ සබාර්, නෞකාවේ කපිතාන් මොහොමඩ් අබ්දුල් අහාඩ් යන මහත්වරුන් අතින්ද මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරුඵලක හුවමාරුව සිදුවිය.

බංගලාදේශ ධජය යටතේ යාත්‍රා කෙරෙන HR Harera නෞකාව 1997 වර්ෂයේ දී නිෂ්පාදනය කෙරුණු බහලු 1550ක් රැගෙන යා හැකි නෞකාවකි. නෞකාවේ ගැඹුර මීටර් 08ක් වන අතර, දිග මීටර් 184.5කි. පළල මීටර් 27.6කි. නෞකාවේ දේශීය නියෝජිත ආයතනය වන්නේ හේලීස් ඇඩ්වාන්ටීස් ලිමිටඩ් පුද්ගලික සමාගම අනුබද්ධ ක්ලැරියෝන් ෂිෆින්(පුද්ගලික)සමාගමයි. කොළඹ – චිතගොං අතර පෝෂක නෞකා සේවාවක් ලෙස HR Line සේවාව ආරම්භ කළ අතර, ඒ සඳහා නෞකාවන් දෙකක සේවය ලබා ගැනේ. එය සතියකට වරක් කොළඹ වරායට පැමිණෙන අතර, මෙම තත්ත්වය ඉදිරියේ දී වර්ධනය කරමින් සතියකට ගමන්වාර දෙකක් කොළඹ – චිතගොන් අතර පැවැත්වීම වෙනුවෙන් තවත් අතිරේක නෞකාවන් 2ක් එළඹෙන 2022 ඔක්තොම්බර් සිට එක් කිරීමට ද නැව් සේවාව බලාපොරොත්තු වේ.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්්‍ය ප්‍රසන්ත ජයමාන්න මහතා සිය අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ, “කොවිඩ් පසු තත්ත්වය යටතේ මෙලෙස නව නැව් සේවාවන් කොළඹ වරාය අරමුණු කරගනිමින් හා විශේෂයෙන්ම ජයබහලු පර්යන්තය පිළිබඳව විශ්වාසය තබමින් එක්වීම පර්යන්තයේ ධාරිතාව ඉහළ නැංවීමට හේතුවක් වන බවයි.” එය බංගලාදේශය හා ශ්‍රී ලංකාව අතර වෙළඳ හා ව්‍යාපාරික කටයුතු කෙරෙහි ද සුවිශේෂි දායකත්වයක් සපයනු ඇති බවට ද හෙතෙම විශ්වාසය පළ කළේ ය.

මෙම අවස්ථාවේ සිය අදහස් දක්වමින් බංගලාදේශය මහකොමසාරිස් අතිගරු තාරෙක් මොහොමඩ් අරිෆුල් ඉස්ලාම් මහතා ප්‍රකාශ කර සිටියේ, අද දින තමන්ට සුවිශේෂි දිනයක් වන බවයි. ඒ ඉතා දීර්ඝ කාලීන සබඳතාවයක් සහිත රාජ්‍යයන් දෙකක් ලෙස ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර මෙලෙස වෙළඳ නාවික සබඳතා වර්ධනය කර ගනිමින්, සහයෝගයෙන් යුතුව කටයුතු කරන අවස්ථාවකට සම්බන්ධ වීමට ලැබීම පිළිබඳවය. එමෙන්ම මෙම නෞකා සේවාව ජයබහලු පර්යන්තය සමග සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම පිළිබඳව සිය සතුට ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමණාකාර අධ්‍යක්‍ෂ උපුල් ජයතිස්ස, අධ්‍යක්‍ෂ(මෙහෙයුම්) ලාල් වීරසිංහ, ප්‍රධාන කළමණාකරු (සාම්ප්‍රදායික නැව්බඩු මෙහෙයුම්) එල්.පී.එස්.චන්දන, ප්‍රධාන කළමණාකාරු (සන්. හා මහ. සම්.) චිත්‍රාල් ජයවර්ණ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය හාබර් මාස්ටර් කපිතාන් SBYMYL වසන්ත යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උසස් නිලධාරීන් ද, ක්ලැරියොන් ෂිෆින් පුද්ගලික සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ක්‍රිෂාන්ත සිල්වා – හේලීස් ඇඩ්වාන්ටීස් සමාගමේ සමූහ අධ්‍යක්‍ෂ සහනෝ සබාර්, නෞකාවේ කපිතාන් මොහොමඩ් අබ්දුල් අහාඩ් යන මහත්වරුන්ද සහභාගී විය.

MV/HR Harera (හරේරා) නෞකාව ජයබහලු පර්යන්තය වෙත පැමිණීම වෙනුවෙන් සිදු කළ සමරුඵලක හුවමාරු අවස්ථාව, බංගලාදේශ මහකොමසාරිස් අතිගරු තාරෙක් මොහොමඩ් අරිෆුල් ස්ලාම්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති – ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න, කළමණාකාර අධ්‍යක්‍ෂ (ශ්‍රී.ලං.ව.අ.) උපුල් ජයතිස්ස, අධ්‍යක්‍ෂ (මෙහෙයුම්) (ශ්‍රී.ලං.ව.අ.) ලාල් වීරසිංහ, රුවන් වෛද්‍යරත්න – කළමණාකාර අධ්‍යක්‍ෂ (හේලීස් ඇඩ්වාන්ටීස්), හේලීස් ඇඩ්වාන්ටීස් පුද්ගලික සමාගමේ සමූහ අධ්‍යක්‍ෂ – සහනෝ සබාර්, නෞකාවේ කපිතාන් මොහොමඩ් අබ්දුල් අහාඩ්, තරංග පෙරේරා – අධ්‍යක්‍ෂ/ප්‍රධාන විධායක) (ක්ලැරියෝ ෂිෆින් සමාගම), යන මහත්වරුන් ද ඡායාරූපයේ වෙති.

Leave a Reply

*

2 × 4 =