2021 වසර සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය වැඩ අරඹයි

උදා වූ 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය ද අද දින (2021.01.01) උදෑසන සිය රාජකාරි ආරම්භ කරන ලදී. වරාය හා නාවික කටයුතු ගරු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මැතිතුමන් හා ශ්‍රී ලංකා වරාය අධිකාරිය සභාපති ජෙනරාල් දයා රත්නායක මහතාගේ ප්‍රධනත්වයෙන්, ආගමික වතාවත් සඳහා ප්‍රමුඛත්වය දෙමින්  වරාය සම්බුද්ධත්ව ජයන්ති චෛත්‍ය පරිශ්‍රයේ දී වැඩ ආරම්භ කෙරිණි.

මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා ප්‍රකාශ කළේ,

“මෙම නව වසර ඉතා සාර්ථක වසරක් බවට පත්වේවා කියා මා සුභාසිංශනය කරනවා.  අපි සාම්ප්‍රදායිකව සහ නව අරමුණු ඉටු කර ගැනීමට මූලාරම්භය තබමින් සෑම වසරක ම මෙම වැඩ ආරම්භ කිරීමේ උත්සවය පවත්වනු ලබනවා.  අපි සියලු දෙනාටම අභියෝග ජය ගනිමින් ඉදිරියට ගමන් කළ හැකි වසරක් ලෙස මෙම වසර හඳුන්වා දිය හැකියි.  නොසිතූ අභියෝගයන්ට පසුගිය වසර තුළ දී මුහුණ දීමට අපිට සිදු වුණා. සියලු දෙනා එකාවන් ව කැප කිරීම් කර ඒ අභියෝග ජයග්‍රහණය කිරීමට හැකිවුණා.”

වරාය හා නාවික කටයුතු ගරු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා, වරාය හා නාවික අමාත්‍යංශ ලේකම් යූ.සී.ඩී. ජයලාල් මහතා, රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ඩී.ඩී. මාතරආරච්චි මහතා, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහත්වරුන් ද, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උප සභාපති, කළමණාකාර අධ්‍යක්‍ෂ, අතිරේක කළමණාකාර අධ්‍යක්‍ෂවරුන් හා අධ්‍යක්‍ෂවරුන් ද, අධිකාරියේ අංශ ප්‍රධාන මහත්ම මහත්මීන් ඇතුළු විධායක නිළධාරී මහත්ම මහත්මීන් ද සේවක මහත්ම මහත්මීන්  ඇතුළු සියළු දෙනා රාජ්‍ය ප්‍රතිඥාව කියවමින්.

වරාය හා නාවික අමාත්‍යංශය මෙන් ම, රාජ්‍ය අමාත්‍යංශයත් එක් ව මෙම කාර්යයන් සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීම ද ඔහුගේ ඇගයීමට ලක් වි ය.වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා වරාය අධිකාරිය තුළ යම් යම් ගැටළු පවතින බවත්, ඒවා ගරු අමාත්‍යතුමන්ගේ හා රාජ්‍ය අමාත්‍යතුමන්ගේ නායකත්වයෙන් රට ට ද ආයතනයට ද ගැටළුවක් නොවන ආකාරයට සාමූහිකව සියලු දෙනා හා එක්ව විසඳාගෙන එකමුතුව කටයුතු කිරීමට සහාය දෙන ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරියට ආදරය දක්වන සැමගෙන් ඉල්ලා සිටියේ ය.

වරාය හා නාවික කටයුතු ගරු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මැතිතුමා අදහස් දක්වමින්,

පසුගිය වසර විශාල අභියෝගාත්මක වසරක් වූ බවත්, නියමිත පරිදි රාජකාරි ඉටු කිරීමට ඉඩ ලැබුණේ මාස දෙකක් පමණ කෙටි කාල සීමාවක් තුළ දී බවත් ප්‍රකාශ කළේ ය.  ලෝකයේ වෙනත් රටවල් පිළිබඳව අවධානය යොමු කරමින්, ඒවායේ ක්‍රියාත්මක ක්‍රමවේද අත්හදා බලමින් නැවත නැගිටින රටක් බවට ශ්‍රී ලංකාව පත්කර ගතයුතුව ඇතැයි ප්‍රකාශ කළේ ය.  

වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා, කොරෝනා අපේ රට ට පැමිණි මුල් අවස්ථාවේ දී මුළු රට ම වසා දමමින්, අකර්මන්‍ය කරමින් ලෝකයේ අනිකුත් රටවල් මෙන් අපි අත්හදා බැලීමක් සිදු කළ බවත්, රටේ අධ්‍යාපනය, ආර්ථිකය සියළු දේ කඩා වැටුණු පසුබිමක රටක් ලෙස ඉදිරියට යෑම එය බාධාවක් වූ බවත් පැවසී ය.  ඒ නිසා අද දවසේ මෙම කොරෝනා වෛරසය සමග සටන් කරමින් 2021 දී රට ඉදිරියට ගෙන යෑමට අප ට අභියෝගාත්මක වසරක් වන නිසා, ඒ අභියෝගය ජය ගැනීමට රට ට ආදරය කරන මිනිසුන් ලෙසින් වැඩ කරමු යන පණිවිඩය සියළු වරාය සේවකයන් වෙත අවධාරණය කර සිටියේ ය.අතිගරු ජනාධිපතිතුමන්ගේ හා ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ නායකත්වයෙන් ක්‍රියාත්මක සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙල රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස ඉටු කිරීමට අද දින ප්‍රතිඥාවක් ද ලබා දෙන ලදී.

ඒ අනුව ‘නූතන තාක්‍ෂණයෙන් සන්නද්ධ මානව සම්පතක් මෙහෙයවන පිරිසිදු රාජ්‍ය පාළනයක කොටස්කරුවකු වන මම මහජන මුදලින් රජයේ සේවකයෙකු ලෙස, රාජ්‍ය ප්‍රතිපත්ති හා අරමුණු ක්‍රියාත්මක කිරීමෙහි ලා මා වෙත පැවරෙන කාර්යභාරය කාර්යක්‍ෂමව, සඵලදායීව, තිර අදිටනින් යුතුව, උපරිමව කැප වී, අවංකභාවයෙන්, මහජනතාවට පක්‍ෂපාතීව සපුරා ඉටු කරන බවට ප්‍රතිඥා දෙමි,’  යනුවෙන් අපි සෑම කෙනෙක් ම, මෙම ප්‍රතිඥාව තුළ පිහිටා අපි එකිනෙකා වෙත පැවරී ඇති වගකීම ඉටු කරන්නට කැප වුවහොත් මෙම කොරෝනා වෛරසය පරදවීමට අසීරු නොවනු ඇත.  එය ඉටු කිරීමට එක්වන ලෙස ඉල්ලා සිටිමින් සියලු වරාය සේවක මහත්ම මහත්මීන්ටත්, ඔවුනගේ පවුල්වල සියලු දෙනාටත් නිරෝගිමත් වාසනාවන්ත නව වසරක් වේවා යි ද එතුමා ප්‍රාර්ථනා කළේ ය.

එමෙන් ම, පැමිණි සිටින සීමිත පිරිසක් වන අමාත්‍යංශ නිළධාරීන්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අධ්‍යක්‍ෂවරුන් ඇතුළු නිළධාරීන්ගෙන්, වෘත්තීය සමිති නායකයන්ගෙන් ඉල්ලා සිටියේ තමා සමග මුණ ගැසීමට නොහැකි වූ සියලු සේවක මහත්ම මහත්මීන් වෙත ද සුභ පැතුම් එක් කළ බව දැණුම් දෙන ලෙසයි.

මෙම අවස්ථාවට වරාය හා නාවික අමාත්‍යංශ ලේකම් යූ.සී.ඩී. ජයලාල් මහතා, රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ඩී.ඩී. මාතරආරච්චි මහතා ඇතුළු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උප සභාපති, කළමණාකාර අධ්‍යක්‍ෂ, අතිරේක කළමණාකාර අධ්‍යක්‍ෂවරුන් හා අධ්‍යක්‍ෂවරුන් ද, අධිකාරියේ අංශ ප්‍රධාන මහත්ම මහත්මීන් ඇතුළු විධායක නිළධාරීන් හා සේවක මහත්ම මහත්මීන් මෙන් ම වෘත්තීය සමිති නිළධාරීන් ද සහභාගී වි ය.

වරාය හා නාවික කටයුතු ගරු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ  වැඩ ආරම්භ කිරීමේ උත්සවයට සහභාගී වෙමින් සභාව අමතන අයුරු.  වරාය හා නාවික අමාත්‍යංශ ලේකම් යූ.සී.ඩී. ජයලාල් මහතා, රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ඩී.ඩී. මාතරආරච්චි මහතා, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා යන මහත්වරුන් ද, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උප සභාපති, කළමණාකාර අධ්‍යක්‍ෂ, අතිරේක කළමණාකාර අධ්‍යක්‍ෂවරුන් හා අධ්‍යක්‍ෂවරුන් ද, අධිකාරියේ අංශ ප්‍රධාන මහත්ම මහත්මීන් ද පසෙකින් වේ.

Leave a Reply

*

nineteen + ten =