කොළඹ වරාය මෙහෙයුම් මේ වන විට සාමාන්‍යයි

ඒකාබද්ධ මාධ්‍ය හමුවේ දී ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති පවසයි

කොළඹ වරාය තුළ ක‍්‍රියාත්මක ප‍්‍රධාන පර්යන්ත තුන වන JCT/SAGT/CICT පර්යන්තයන් ඊයේ දින (22.12.2020) ඒකාබද්ධ මාධ්‍ය හමුවක් ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කාර්යාලයේ රැස්වීම් ශාලාවේ දී පැවැත්විණි.

පෙ.ව. 10.30 ට ආරම්භ වූ මෙම මාධ්‍ය හමුව සඳහා ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය වෙනුවෙන් එහි සභාපති ජනරාල් දයා රත්නායක මහතා, සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල් හෙවත් SAGT පර්යන්ත සමාගම වෙනුවෙන් එහි සාමාන්‍යාධිකාරී(මෙහෙයුම්) උපුල් ජිනදාස මහතා, කලම්බු ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල් හෙවත් CICT සමාගම වෙනුවෙන් එහි ජ්‍යෙෂ්ඨ පර්යන්ත කළමණාකරු රොෂාන් රණසිංහ මහතා යන අය සහභාගී වූහ.

මාධ්‍ය හමුව අමතමින්, ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජනරාල් දයා රත්නායක මහතා ප‍්‍රකාශ කළේ අද වන විට කොළඹ වරාය සියලූම මෙහෙයුම් කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බවයි. දේශීය ආනයන හා අපනයන කටයුතු වලින් 95% ක් පමණ කොළඹ වරාය මෙහෙයවයි. පවත්නා කොවිඞ් තත්ත්වය පාලනය කරමින් රටේ අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස තම යුතුකම ජාතික වගකීමක් ලෙස ඉටු කරන අතරේම අන්තර් ජාතික වෙළඳාම හා සබැඳි ආයතනයක් ලෙස ජාත්‍යන්තර ගණුදෙනු කරුවන්ගේ ද විශ්වාසය ආරක්‍ෂා කරගනිමින් මෙම තත්ත්වයට පත්වීමට හැකිවීම ජයග‍්‍රහණයක් බව ද, එමෙන්ම, වරාය තුළ මෙහෙයුම් කටයුතු කාර්යක්‍ෂම හා ඵලදායි ව පවත්වාගෙන යාම සඳහා අනෙකුත් පර්යන්ත සමග ඉතා සහයෝගයෙන් කටයුතු කරන බව ද ප‍්‍රකාශ කළේ ය. පවත්නා වසංගත තත්ත්වය පාලනය සඳහා දැනටමත් ඒකාබද්ධ මධ්‍යස්ථානයක් ඇති කොට ඇත. එහි කටයුතු සෑම බදාදා දිනකම විශ්ලේෂණය කරයි. කොවිඞ් සම්බන්ධ සියළු දත්ත වාර්තා මෙම මධ්‍යස්ථානය සතු බව ද පැවසීය.

මෙම අවස්ථාවේ වැඩිදුරටත් අදහස් දැක්වූ වරාය සභාපති ජනරාල් දයා රත්නායක මහතා ප‍්‍රකාශ කර සිටියේ, ‘‘වරාය යනු රටේ සමාජ, ආර්ථික, දේශපාලනික තත්ත්වය කෙරෙහි ඉඳුරාම බලපාන ආයතනයක් බවයි. රටේ ආදායම් තත්ත්වය ඉහළ නැංවීමට සෘජුවම බලපාන ආයතනයක් ලෙස කටයුතු කරන වරාය, විශාල සමාගම් හා ආශ‍්‍රිත ව්‍යාපාරයන් විශාල ප‍්‍රමාණයක් සඳහා මූලිකත්වය දරණ හා ආශ‍්‍රිත රැුකියා උත්පාදනය කරන විශාල ආයතනයකි. එමෙන්ම, රටේ ආදායම් උත්පාදනය සඳහා දායක වන ආයතනයකි. විශාල බදු ප‍්‍රමාණයක් රජයට ලබා දෙන ආයතනයකි. නොනිදන ආයතනයක් ලෙස පැය 24 පුරා ක‍්‍රියාත්මක වරාය කොවිඞ් වසංගත කාලය පුරා ඉතා සක‍්‍රියව කටයුතු කරන ආයතනයක් ලෙසද පෙන්වා දිය හැකි ය.

මෙම වසරේ (2020) මාර්තු මස 16 වන දින දක්වා ඉතා ඉහල වර්ධන අගයක් පෙන්නුම් කළ ද අපේ‍්‍රල්/මැයි මාස වලදී එම තත්ත්වයේ අඩුවීමක් දැක්වීය. නමුත් ඔක්තොම්බර් මාසයේ කොවිඞ් දෙවන රැල්ලත් සමග නැවත කොළඹ වරාය අභියෝගයකට මුහුණ දීමට සිදුවිය.

මාධ්‍ය හමුව අමතන උපුල් ජිනදාස මහතා (SAGT පර්යන්තයේ සාමාන්‍යාධිකාරී – මෙහෙයුම්) ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා, CICT සමාගමේ ජේ්‍යෂ්ඨ පර්යන්ත කළමණාකරු රොහාන් රණසිංහ මහතා.

කොවිඞ් තත්ත්වයට පෙර සහසම්බන්ධිත (connectivity) වරායන් අතර ගෝලීය දර්ශක වල 11/12 ස්ථානවල පැවතීමට කොළඹ වරායට හැකිවිය. කොළඹ වරායට විශාල වශයෙන් නෞකා ආකර්ශනය කර ගනිමින් නාවික කේන්ද්‍රස්ථානයක් ලෙස කටයුතු කිරීම හේතුවෙන් ගෝලීයව ඇතිවන බලපෑම් වරාය කටයුතු සඳහා ද වන බලපෑම් අපට මගහැරිය නොහැකිය. විශේෂයෙන්ම පවත්නා වසංගත තත්ත්වය හේතුවෙන් ඉන්දියාව තුළ සංචරණ සීමා පැනවීම නිසා එහි නිෂ්පාදන කටයුතු බිඳ වැටීම් වරාය කටයුතු සඳහා බලපා ඇත. එමෙන්ම, මෙම තත්ත්වය අපට පමණක් පොදු වූ තත්ත්වයක් නොව සිංගප්පූරුව, මැලේසියාව, ඩුබායි වැනි කේන්ද්‍රිය වරායයන් සඳහා ද බලපා ඇත.

දැනට කොළඹ වරායේ පර්යන්ත අතර එක`ගතාව වන්නේ පවත්නා තත්ත්වයට සාර්ථකව මුහුණ දීම සඳහා ඒකාබද්ධව වැඩ කිරීමයි. මේ සඳහා අමතර සේවාවන් යොදා ගනිමින් රජයේ සෞඛ්‍ය නිර්දේශ ක‍්‍රියාත්මක කරමින් ඒවා පිළිබඳව සේවක ප‍්‍රජාව දැනුවත් කරමින් වරාය කටයුතු නැවත සුපුරුදු මට්ටමට රැගෙන විත් ඇති බව වැඩිදුරටත් හෙතෙම සඳහන් කළේ ය.

මෙම අවස්ථාවට එක් වූ SAGT පර්යන්ත සමාගමේ සාමාන්‍යාධිකාරි(මෙහෙයුම්) උපුල් ජිනදාස මහතා ප‍්‍රකාශ කළේ මාර්තු 16 වන දින ආරම්භ වූ කොවිඞ් පළමු රැුල්ලත් සමග වරාය භාවිත කරන්නන් සඳහා විශාල සහන ප‍්‍රමාණයක් ලබා දුන් බවයි. ඒ යටතේ මිලියන 300 ක 400 ක පමණ වටිනාකමකින් යුතු බහළු නිදහස් කරන ලදි. ඒ දේශීය ආයතනයක් ලෙස පවත්නා තත්ත්වයට විසඳුමක් ලෙසය. සේවකයින්ගේ ආරක්‍ෂාව සඳහා ද ප‍්‍රවාහන පහසුකම් ලබාදීමේ සිට බොහෝ තීරණ ගෙන තිබේ. ඒ සඳහා විශාල වැයක් දරණ අතර එය සමාගම විසින් දරණ බවද පැවසී ය. මේ සෑම දෙයක්ම කරන්නේ කොළඹ වරාය කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් වන අතර සෞඛ්‍ය නිර්දේශ වලට අනුව එම කටයුතු සිදුකිරීමට කටයුතු කරන බව ද පැවසී ය.

මෙම අවස්ථාවේ අදහස් පල කල CICT සමාගමේ ජ්‍යෙෂ්ඨ පර්යන්ත මෙහෙයුම් කළමණාකරු රොෂාන් රණසිංහ මහතා ප‍්‍රකාශ කළේ ය.

කොළඹ වරාය පිළිබඳව එහි සේවාදායකයින්ගේ පූර්ණ විශ්වාසය තහවුරු කර ඇති බවයි. අභියෝගාත්මක කාලයක් තිබුණත් අද වන විට එම තත්ත්වය පාලනය කරමින් සාමාන්‍ය තත්ත්වයට පත්ව වරාය කටයුතු සිදු කිරීමට හැකිව ඇති බවද ප‍්‍රකාශ කළේ ය.

Leave a Reply

*

2 − 1 =