වැළළුණු මන්නාරම පෝට් සිටි වටා වන පෞරාණික ස්මාරක

ඩොරික් ගොඩනැගිල්ලට මීටර 400ක් පමණ දුරින් මුහුද අද්දර තැනූ කුලුනක් දැකගත හැකියි. මෙහි මුදුන පිරමිඩාකාර යි. එය කුමන කාර්යයකට යොදාගත්තාදැ යි නිශ්චිත නැතත් මුතු කිමිදී ගොඩබිමට පැමිණෙන යාත්‍රාවලට මඟපෙන්වීමට යොදාගන්නට ඇතැ යි සැක කරනවා.

කුසුම්සිරි විජයවර්ධන

මන්නාරම පෞරාණිකත්වය ලංකා ඉතිහාසයෙන් එහාට ප්‍රාග් ඉතිහාසයටත් යන කාරණයක්. එස්. යූ. දැරණිගල කළ ගවේශනවලින් ඉරණමඩු සංයුතියේ ප්‍රාග් ඓතිහාසික සාධක ලැබී තිබෙනවා. පුරාණයේ ලංකාවේ පැවති වැදගත්ම වරාය තිබුණේ මන්නාරම හෙවත් මාතොට යි. මහාවංශයේ විජය රජු කාලයේ පටන් මේ වරාය ගැන සදහන් වෙනවා. මාතොට කැණීම්වල දී තඹ, යබොර ආදි ලෝහ ලැබී ඇති අතර සේරුවිල තඹ ඉන්දියාට අපනයනය කළ නැව් තොටක් ලෙස මන්නාරම පවතින්නට ඇති බව සැලකෙනවා. ක්‍රි. ව. දෙවන සියවසේ දී ටොලමි ඇදි සිතියමේ මදෙට්ටු ලෙස නම් කර තිබෙන්නේ මන්නාරම යි. පූර්ව යකඩ යුගයට අයත් සාධක ද මන්නාරමෙන් ලැබුණු බව ශිරාන් දැරණියගල සඳහන් කරනවා. 80 දශකයේ දී මන්නාරමේ කළ කැණීම්වල ද කාලරත්ක මැටි බදුන් සහිත පූර්ව ඓතිහාසික සාධක මතුවුණා. ඒ අනුව පෙනෙන්නේ පූර්ව ඓතිහාසික යුගයේ පටන්ම මෙම ශුෂ්ක ප්‍රදේශය ජනතාවට වාස භූමිය වී ඇති බව යි.

මන්නාරමේ මුතු කිමිදීමට යන ගමන්- uw360.asia

සීගිරි ගීවල සඳහන් මහපටන් ජු යන්න මන්නාරම දූපත වශයෙන් හඳුනාගෙන තිබෙනවා. ශිලා ලිපි කිහිපයකම මන්නාරම සඳහන් වෙනවා. ඒවායේ කරුණු අනුව මෛහි විශාල ජනගහනයක් සිටි බව පෙනෙනවා. මන්නාරම තිරුකේතීශ්වරම් කෝවිල අසලින් ලැබුණු, හතරවන කාශ්‍යප රජුගේ (898-914) ටැම් ලිපියක සඳහන් වන්නේ පධානඝරයකට දෙන ලද දීමනාවක් ගැන යි. එයට අනුව මන්නාරම වරායේ පරිපාලනයට සිංහල නිලධාරින් හවුල් වී සිටි බව පැහැදිලි වෙනවා.

මහාතිත්ථ මහ වරාය

මන්නාරම ප්‍රදේශයෙන් මෑතක දී හමුවුණු පාණ්ඩ්‍ය කාසි – tamilguardian.com

“මන්නාරම” කියන වචනය ද්‍රවිඩ භාෂාවෙන් උපන් එකක්. එහි තේරුම “මුතු භූමිය” යි. පුරාණ මාතොට වරාය ගොඩනැගිලි, මුහුදු වෙරළේ සිට මීටර් 400ක් පමණ ගොඩබිම දෙසින් පිහිටි අතර ඒ වටා පවුරක් ද දියඅගල් දෙකක් ද තිබුණු බවට සාධක හමුවෙනවා. වෙළෙඳ නගරය දිය අගල් දෙකකින් යුක්තව පැවති අතර, අශ්ව ලාඩමක හැඩය ගෙන තිබෙනවා. 

වර්ෂ 1980 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආචාර්ය එස්. යූ. දැරණියගල සහ චිකාගෝ විශ්ව විද්‍යාලය එක්ව මෙහි කැණිමක් කළා. ඒ, මන්නාරම තිරුකේතීශ්වරම් කෝවිලට යාබදව යි. එම කැණීම්වල දී පුරාණ වරායට අයත් සාධක මතුවී තිබෙනවා. එහිදී මැටි මෙවලම්, කාසි, ඇත්දත්, මැණික්, මුතු, ගල්භාජන, වළලු, තඹ, ලෝකඩ, යකඩ, වීදුරු ආදී අවශේෂ හමුවුණා. එම සාධක අනුව ක්‍රි. පු. 1800 වන විට මතොට මධ්‍ය ශිලා යුග ජනාවාසයක්. පසුව ක්‍රි. පූ. 2 සියවස වන විට එය මූල ඓතිහාසික යුගයට මාරු වී තිබෙනවා.

පුරාණ මහාතිත්ථ නගරයේ සැලැස්ම- මන්නාරම දිස්. පුරාවිද්‍යා දෙපා. කෘතියෙනි

මන්නාරම නගරය ඉදිරිපසින් පිහිටි මේ වරාය සිංහල සාහිත්‍යයෙහි සහ සෙල්ලිපිවල විවිධ නම්වලින් හඳුන්වා තිබුණි. මහවොටි, මහපුටු, මවතුතොට, මහපටන ඒවා යි. දෙමළෙන් එය හැඳින්වුණේ මාන්තොට්ටම් කියලයි. අනුරාධපුර යුගයට පෙර පටන් සාධක සහිත මේ වරාය පසුව පොළොවට යට විණි. එහි නෂ්ටාවශේෂ මාන්තායි මහ පස්ගොඩෙහි තිබේ. තිරුකේතීශ්වරම් හින්දු කෝවිල තනා ඇත්තේ ඒ මත ය. අනුරාධපුරය සහ පොළොන්නරුව මෙන්ම මහාතිත්ථ ද ප්‍රාකාරයකින් වටවී තිබුණි. ලංකාවෙන් පිටරට යැවූ මුතු, මැණික්, කුරුදු, කුළුබඩු, සහ ඇතුන් රටින් පිට වූයේ මේ වරායෙනි. 

(සී. ඩබ්. නිකලස්- පුරාතන සහ මධ්‍යතන ලංකාවේ ඓතිහාසික ස්ථාන විස්තරය පරි. සෝමපාල ජයවර්ධන)

ඕලන්ද කොටු පවුර- srilankatrips.com

මහාවංශයේ සදහන් පරිදි විජය (ක්‍රි. පූ. 543-504) කුමරුගේ අභිෂේකයට පැමිණි ක්ෂත්‍රිය වංශික කන්‍යා කුමාරියන් ගොඩබැස්සේ මහතොට වරායෙන්. එළාර (ක්‍රි. පූ. 205- 161) හා දුටුගැමුණු අතර යුද්ධයේ දී එළාරට සහාය වීමට හමුදා පැමිණ තිබෙන්නේ ද මහතොටින්. වළගම්බා රජ (ක්‍රි. පූ. 89-77) කාලයේ දෙමළුන් සත් දෙනෙකු මහතොටින් ගොඩබැස රජු පරදා අනුරාධපුරය අල්ලාගෙන තිබෙනවා. සිරිමේඝවර්ණ රජ (ක්‍රි. ව. 301-328) කාලයේ මෙම ස්ථානයේ කෝවිලක් පැවතුණා. පාණ්ඩ්‍ය, පල්ලව, සොළි ආදී දකුණු ඉන්දියානු ආක්‍රමණිකයන් ලංකාවට පැමිණ තිබෙන්නේ ද මන්නාරම වරායෙන් බව මහාවංශය සඳහන් කරනවා.

ක්‍රි. ව. 6 වන සියවස වන විට වාණිජ වරායක් ලෙස විශාල වැදගත්කමක් මේ වරායට හිමිව තිබෙනවා. මාතොට වරායට පර්සියානු, අක්සුමයිට් නැව් ද, අඩුලීස්හි යාත්‍රා ද, ඉන්දියානු, චීන, සහ ඈත පෙරදිග නැව් හා වෙළෙන්දන් ද පැමිණ තිබෙනවා. එවකට ඉතා කාර්යබහුල වෙළෙඳ තොටක් වශයෙන් මන්නාරම පැවතුණා. 

මෙම වරාය ක්‍රි. පූ. 2 සියවසේ සිට ක්‍රි. ව. 13 වන සියවස දක්වා අවුරුදු 1500ක් පමණ සක්‍රියව පැවති වරායක්. ඊට පසු එය පරිහානියට පත්ව තිබෙනවා.

වරාය යටකරගෙන මතුවූ තිරුකේතීශ්වරම් කෝවිල

කෝවිල ඈතට දිස්වන අයුරු  timeout.com

පුරාණ මාතොට වරාය නගරය මත ඉදිකළ මේ කෝවිලේ ආරම්භය 11 වන සියවස දක්වා ඇදී යනවා. නමුත් පෘතුගීසින් බෞද්ධ හා හින්දු සිද්ධස්ථාන විනාශ කළ අතර, මේ කෝවිල ද වනසා දැමුණා. කෝවිලෙන් ගලවාගත් ගල් මන්නාරම බලකොටුව ඉදිකිරීමට යොදාගත් බව පැවසෙනවා. කෝවිලේ පැරණි පාදම සහ ශිවලිංගය ඇතුළු පූජා භාණ්ඩ 1894 දී සොයාගත් බව පැවසෙනවා.  නැවත කෝවිල ඉදිකර තිබෙන්නේ 1903 දී යි. ඊට පසු එය වරින්වර ප්‍රතිසංස්කරණයට ලක්වුණා. කෝවිල් බිමෙන් බුදුපිළිමයක ශීර්ෂයක්, සිංහල සහ දෙමළ සෙල්ලිපි හමුවී තිබෙනවා. අද එය මන්නාරම ප්‍රධාන හින්දු කෝවිල යි.

කෝවිලේ ගල්වලින් තැනූ ඕලන්ද බලකොටුව

කොට පවුර පිටතින් – srilankaexpedition.com

මන්නාරම නගරයේ තමයි මේ කොටුව පිහිටා තිබෙන්නේ. එය ඉදිකර තිබෙන්නේ කලපුවට යාබදව යි. මෙය බැස්ටියන් හතරක් සහිත චතුරස්‍රාකාර කොටුවක්. මෙහි ප්‍රධාන දොරටුව පිහිටා ඇත්තේ දකුණු ප්‍රාකාරය මැදින්. මුලින්ම 1560 දී පෘතුගීසින් ඉදිකළ කොටුව 1658 දී ලන්දේසීන් ප්‍රතිසංස්කරණය කරවා තිබෙනවා. දේවස්ථානය, අධිකරණ ගොඩනැගිල්ල, මුර අට්ටාල, හමුදා නිලධාරින්ගේ නිවාස ආදිය මෙහි පිහිටා තිබෙනවා. වර්ෂ 1670 සිට 20 වන සියවස දක්වා කාලයේ මෙහි තැන්පත් කළ පුද්ගලයන් කිහිප දෙනකුගේ සොහොන් ඵලක ද දැකගත හැකියි. යුරෝපීයයන්ගේ එම සොහොන් ගල් විවිධ අලංකාර මෝස්තර සහිතව නිමාකර තිබෙනවා.

ඕලන්දයන් ඇදි කොටුවේ සිතියමක්- lankapura.com

ප්‍රධාන දොරටුවේත්, පිටත සහ ඇතුළතත් ප්‍රාකාරවල තිබූ ආරුක්කු දොරටු විනාශ වී ගිහින්. ඉදිරිපස දොරටුවේ තිබූ  තොරණක් 1710 දී ඇඳි සිතුවමක දක්නට හැකි වුණත්, අද වනවිට එය දැකගත හැකි වන්නේ නැහැ. කොටුවේ බැස්ටියන් හතරම හොදින් ආරක්ෂා වී තිබෙනවා. එක් බැස්ටියන් එකක මුරකුටිය දැකගැනීමට නැහැ. දකුණු සහ බටහිර ප්‍රාකාරවලට අල්ලා ඉදිකරන ලද පල දෙකේ වහල සහිත ගොඩනැගිලි දෙක ගබඩා බවට විශ්වාස කෙරෙනවා. නැගෙනහිර බැම්මට සමාන්තරව පිහිටි ගොඩනැගිලි දෙක යුද භටයන්ගේ බැරැක්ක විය යුතු බව යි පෙනෙන්නේ. මෙහි පිහිටි ළිං පසුකාලීනව ඉදිකළ ඒවා යි.

රොබට් නොක්ස් ගිය අරිප්පු බලකොටුව

අරිප්පු බලකොටුවේ ගරාවැටෙන ප්‍රාකාර- youtube.com

මෙසේ ගමින් ගමට ගමන් කොට අන්තිමේ දී අරිප්පු බලකොටුවට පැමිණියෙමු. ඒ දිනය 1679 ඔක්තෝබර් මස ශනි දිනයක් විය. බලකොටුවේ කපිතාන් තැන අපට හොඳින් සංග්‍රහ කෙළේය. එය වූ කලී ක්‍රිස්තියානි ජනතවාට නිවෙස් වූ සුන්දර නිවාසයක් විය. 

(එදා හෙළදිව- පරි. ඩේවිඩ් කරුණාරත්න)

රොබට් නොක්ස් උඩරටින් පලායාමේ දී අරිප්පු බලකොටුවට පැමිණි ආකාරය එලෙස තම කෘතියේ සදහන් කර තිබෙනවා. අරිප්පු බටහිර ග්‍රාම නිලධාරි වසමේ මුත්තරිපත්තුරය ගමේ බලකොටුව පිහිටා තිබෙනවා. මෙය මුලින්ම ඉදිකළේ පෘතුගීසින්. පෘතුගීසි බලකොටු ලන්දේසින් යටත්කර ගැනීමේ දී අරිප්පු ද ඔවුන්ගේ පාලනයට නතු වුණා. මෙය බැස්ටියන් දෙකකින් යුත් ඉතා කුඩා බලකොටුවක්. ලන්දේසීන් එය නවීකරණය කර භාවිතයට යොදා ගත්තා.

බලකොටුව පිටතින්- amazinglanka- Ashan Geeganage

බලකොටුව භාවිත කර ඇත්තේ මුතු කැඩීමේ කටයුතු පාලනය කිරීම සඳහා යි. වයඹ දිසාවෙන් පිහිටි කාලතුවක්කු බැස්ටියන් එකෙහි අවශේෂ තරමක් දුරට ඉතිරිව පවතිනවා. බලකොටුව ඉදිකර තිබෙන්නේ කොරල් ගල්, හුණුගල් හා ගඩොල් භාවිතයෙන්. බලකොටුව තුළ තිබුණු පල්ලිය ද අද දැකගත හැකියි. කොටු තාප්පය තැනින් තැන ඉතිරිව පවතිනවා. කොටුවට නුදුරින් පැරණි ළිදක් තිබෙනවා. ඒ අසලම 1878 අප්‍රේල් 14 දා මිය ගිය චාර්ලිස් ලෙයස් නම් බැංකු නිලධාරියාගේ සොහොන් කොත ද පිහිටා තිබෙනවා.

ෆ්‍රෙඩ්රික් නෝත්ගේ ඩොරික් බංගලාව

වර්ෂ 1804 දී ඩොරික් බංගලාව – amazing lanka.com

මැදවච්චිය- මන්නාරම පාරේ මුරුන්කන් හන්දියට පැමිණ, සිලාවතුරට ගොස් අරිප්පුවලට යාමෙන් යටත්විජිත යුගයේ මතක සටහන් සහිත මේ ගොඩනැගිල්ලට ළඟාවීමට පුලුවන්. මෙය ඉදිකරන ලද්දේ 1802 දී ප්‍රාදේශීය ඉංජිනේරු නාජල් විසින් බව යි සදහන් වන්නේ. මේ ගොඩනැගිල්ලට මුල්ගල තැබුවෙත් ආණ්ඩුකාර නෝත්ම යි. ඒ 1802 මාර්තු 18 දා යි. එය 1804 වනවිට තනා නිම කර තිබෙනවා. ග්‍රීක සම්ප්‍රදායට අයත් ඩොරික් කුලුනු සහිතව තැනූ නිසා, එයට ඩොරික් යන නම ලැබී තිබෙනවා.

ඩොරික් අද දිස්වන ආකාරය- srilankaexpeditions.com

මන්නාරමේ මුතු කැඩීමේ කටයුතු පරීක්ෂාවට ප්‍රෙඩ්රික් නෝත් ආණ්ඩුකාරයා පැමිණි විට ඔහුට නවාතැන් ගැනීමට යි මෙය තනා තිබෙන්නේ. ජේම්ස් කෝඩිනර් ද මේ ගොඩනැගිල්ලට ගොස් විස්තර තම පොතේ ලියා තිබෙනවා. ඔහු සඳහන් කරන්නේ 1804 දී මුතු කැඩීමෙන් ආණ්ඩුවට ලැබුණු ආදායම පවුම් 75000ක් බව යි. 1820 දී ආණ්ඩුකාර එඩ්වඩ් බාන්ස් ඩොරික් ඇතුළු මන්නාරමේ රජයේ ගොඩනැගිලි අලුත්වැඩියාවට නියෝගයක් නිකුත් කර තිබෙනවා. එදා මුහුදු වෙරළේ අලංකාරව පිහිටි මේ ගඩොල් ගොඩනැගිල්ල අද වනවිට නටබුන් වෙලා. එහි පහත මාලයේ කොටස් කිහිපයක් පමණක් දැකගත හැකියි. මුහුදු ඛාදනය නිසා එහි පිටුපස කොටස විනාශ වී ගොසින්. මෙහි සියලුම දොර ජනෙල් ආරුක්කු සහිතව නිම කර තිබෙනවා. පහත මාලය කුඩා නිදන කාමර හතරකින් සමන්විතය පැවති අතර අද ඉන් දෙකක් දැකගත හැකියි. ගොඩනැගිල්ල මැදින් ඉහළ මහලට ගමන් කිරීමට යොදාගත් පියගැට පෙළ තිබී තිබෙනවා. ඉහළ මාලවේ සඳලුතල දෙකක් ද විශාල භෝජන ශාලාවක් ද ආණ්ඩුකාරයාගේ නිදන කාමරය ද තිබුණා. මෙම ගොඩනැගිල්ලට දෙපසින් සේවකයන් සඳහා ද ගොඩනැගිලි පැවති බව  ඉතිරිව පවතින පාදම්වලින් හෙළිවෙනවා.

ඩොරික් බංගලාවට නුදුරින් පිහිටි පැරණි කුලුන- amazing lanka.com, Nishan Weerasooriya

ඩොරික් ගොඩනැගිල්ලට මීටර 400ක් පමණ දුරින් මුහුද අද්දර තැනූ කුලුනක් දැකගත හැකියි. මෙහි මුදුන පිරමිඩාකාර යි. එය කුමන කාර්යයකට යොදාගත්තාදැ යි නිශ්චිත නැතත් මුතු කිමිදී ගොඩබිමට පැමිණෙන යාත්‍රාවලට මඟපෙන්වීමට යොදාගන්නට ඇතැ යි සැක කරනවා.

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

මන්නාරම දිස්. පුරාවිද්‍යා දෙපා. එම්. වී. ජී. කල්ප අසංග, අයි. පී. එස්. නිශාන්ත

සී. ඩබ්. නිකලස්‍-  පුරාතන සහ දඹ්‍යතන ලංකාවේ ඓතිහාසික ස්ථාන විස්තරය  පරි. සෝමපාල ජයවර්ධන

පෞරාණික ස්ථාන සහ ස්මාරක- මන්නාරම දිස්. ජයලත් කුමාරසිංහ

කවරය- මන්නාරම ඕලන්ද කොටුව ගුවනින් -youtube.com

උපුටාගැනීම: roar.media/sinhala

Leave a Reply

*

2 × two =