කොළඹ වරාය භාවිතා කරන්නන් PCR සහ ප්‍රතිදේහ පරීක්ෂණ වලට ලක් කෙරේ

සමාජයේ අහඹු ලෙස තෝරා ගන්නා පිරිස් PCR සහ ප්‍රතිදේහ පරීක්ෂණ වලට භාජනය කිරීම කොවිඩ් වසංගතය මුළුමනින්ම තුරන් කිරීමේ එක් ප්‍රධාන පියවරක් ලෙස සෞඛ්‍ය අංශ බලධාරීන් විසින් හඳුනාගෙන ඇත.

ඒ අනුව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් කොළඹ වරායේ සේවයකයින් සහ වරාය භාවිතා කරනු ලබන පිරිස් අතරින් පුද්ගලයින් 251 දෙනෙකුගෙන් යුතු නියැදියක් අහඹු ලෙස තෝරාගෙන අද දින ( ජුනි 02, 2020) PCR සහ ප්‍රතිදේහ පරීක්ෂණ වලට භාජනය කරනු ලැබීය. එහි ප්‍රතිඵල තවත් දින කිහිපයකින් ලැබීමට නියමිතය. ඒ ලංකා වරාය අධිකාරිය විසින් ක්‍රියාවට නංවා ඇති කොවිඩ් -19 වසංගතයෙන් ආරක්ෂාවීමේ වැඩපිළවෙලහි තවත් එක් අංගයක් ලෙසය.

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන වසංගත රෝග විද්‍යා අංශයේ කණ්ඩාමක් විසින් ඒ සඳහා අවශ්‍යය නියැදි ලබා ගත්තේය. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ආරක්ෂක කොට්ඨාශය, නියමු මධ්‍යස්ථානය, වෛද්‍යය කොට්ඨාශය, සුභ සාධන සහ කාර්මික සම්බන්ධතා කොට්ඨාශය, මෙන්ම මුළුතැන්ගෙය ආදී ස්ථාන වල සේවය කරන සේවක සේවිකාවන් සහ එස්ඒජීටී පර්යන්තය , සීඅයිසීටී පර්යන්තය, කොළම්බෝ ඩොක්යාර්ඩ්, ශ්‍රී ලංකා පොලිසිය, සහ ශ්‍රී ලංකා රේගුව යන ආයතන නියෝජන වන පරිදි අදාළ පරීක්ෂණ සඳහා නියැදි ලබා ගත්තේය. ඊට අමතරව වාප්පු ලිපිකරුවන්, ආපන ශාලා වල සේවකයින්, සහ ලොරි රථ රියදුරන් අතරින් තෝරාගත් පිරිසක්ද මෙසේ PCR සහ ප්‍රතිදේහ පරීක්ෂණ වලට යොමු කරනු ලැබීය.

මේ අතර කොළඹ වරාය ආසන්නයේ පිහිටි ගෆුර් ගොඩනැගිල්ලේ සේවය කළ නාවිකා හමුදා නිලධාරියෙකුට කොවිඩ්-19 රෝග කාරක වෛරසය වැළඳී ඇති බව හෙළි වීමෙන් පසු එහි සේවය කළ 200 කට ආසන්න නාවිකා හමුදා නිලධාරීන් PCR පරීක්ෂණ වලට ලක් කරනු ලැබීය. එහිදී හෙළිවූයේ එම ගොඩනැගිල්ලේ සේවය කළ වෙනත් කිසිවෙකුට වෛරසය ආසාධනය වේ නොමැති බවයි.

එසේම කොළඹ වරායේ අයිඑස්පීඑස් (ජාත්‍යන්තර නැව් සහ වරාය පහසුකම් ආරක්ෂාව) සේවාව සහ අනෙකුත් ආරක්‍ෂක කටයුතු සඳහා අනුයුක්ත කොට ඇති ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් 150 දෙනෙකුද පිසීආර් සහ ප්‍රතිදේහ පරික්ෂා වලට ලක් කරනු ලැබීය. ඔවුහු කිසිවෙකුටවත් වෛරසය අසාධනය වී නැති බව තහවුරු වී ඇත.

වරායේ මෙහෙයුම්වල ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය මේ අකාරයෙන් අහඹු ලෙස තෝරා ගත් නියැදි PCR සහ ප්‍රතිදේහ පර්යේෂණ වලට භාජනය කිරීමට සැලසුම් කොට ඇත.

PCR tests at Colombo Port

Leave a Reply

*

one × 5 =