ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ශ්‍රී ලංකාවේ වාණිජ වරායන්හි කොවිඞ්-19 පාලනය සඳහා මෙතෙක් ගත් ක්‍රියාමාර්ග පිළිබඳව කෙරෙන පසුවිපරම

කොවිඞ්-19 තත්ත්වයට මුහුණ දීමට නොහැකිව කලාපයේ බොහෝ වරාය වසා දමා ඇති තත්වයක කොළඹ වරාය ඇතුළු ශ්‍රී ලංකාවේ සියලූ වරායන් සිය මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකිවී තිබීම සුවිශේෂී තත්ත්වයකි.

ලෝකයේ සමහර රටවල් ගෝලීය සංවර්ධන දර්ශකයන්හී අංක දෙකකින් (two digits) තම සංවර්ධන ඉලක්ක පවත්වාගෙන ගිය  අතිධාවනකාරී භෞතික ක්‍රමවේදයන් අද කිසිදු වග විභාගයකින් තොරව අත්හිටුවී ඇත. සංවර්ධනය පිළිබඳ ගෝලීය යාන්ත්‍රණයන් නැවතී ඇත. සංවර්ධනය  මැනීමෙහිලා භාවිතා කළ සියලූ විශ්වීය සංකල්පයන් හා මිනුම් දඬු තවදුරටත් වලංගු නොවන තත්ත්වයකට පත්ව ඇත.

ශ්‍රී ලංකාවේ අපිට ද එම තත්ත්වයට මුහුණ දීමට සිදුව ඇත. ශ්‍රී ලංකාවේ ද සෑම ක්ෂේත්‍රයක්ම අඩපණ කිරීමට මෙම වසංගතයට හැකියාව ලැබී ඇත. එහෙත් එම තත්ත්වය පිටුදැකීම සඳහා මුල සිටම  රාජ්‍ය යාන්ත්‍රණය සිදු කළ අපරිමිත කැපවීම නොවන්නට ශ්‍රී ලංකාව ද මේ වන විට කොවිඞ්-19  වසංගතයේ තිප්පොලක් වීමට ඉඩ තිබුණි.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ, රාජ්‍ය පරිපාලන අංශය, ත්‍රිවිධ හමුදාව හා පොලීසිය මුල්වී වසංගතය මැඩලීමට අවශ්‍ය පූර්ණ කැපකිරීම සිදු කරමින් සිටී. එයින් පරිබාහිරව වෙනත් බොහෝ අංශ ද අත්‍යවශ්‍ය සේවාවන් ලෙස සිය උපරිම සහය කොවිඞ්-19 තුරන් කිරීම වෙනුවෙන් ලබා දෙමින් සිටී. එවන් අංශ කිහිපයක් නම්, ප්‍රවාහන හා  සේවා සැපයුම් අංශ ද, බලශක්ති හා ජලය බෙදාහැරීම් අංශ ද, කෘෂිකාර්මික හා වෙළඳ අංශ ද, තොරතුරු තක්ෂණික හා ජනමාධ්‍ය අංශ ද ඒ අතර වෙයි.

එවන් පසුබිමක ජාතික අවශ්‍යතාවයක් සේ සළකා ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා එහි අශ්‍රිත සේවා ද අත්‍යවශ්‍ය සේවාවන් ලෙස නම් කෙරිණි. ඒ අනුව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ රජයේ ම පෙන්වීම හා වරාය හා නාවික ගරු විෂයභාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමාගේ උපදෙස් මත, වරාය හා නාවික අමාත්‍යංශය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා රේගු දෙපාර්තුමේන්තුව, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්ත්මේන්තුව, ශ්‍රී ලංකා නාවික හමුදාව මෙන්ම කොළඹ වරායේ SAGT පර්යන්ත සමාගම, CICT පර්යන්‍ත සමාගම එක්ව පවත්නා තත්ත්වයට අවශ්‍ය විසඳුම් සාමූහිකව යෝජනා කෙරිණි.

ඒ අනුව රජයේ සෞඛ්‍ය අංශ විසින් ලබාදෙන උපදෙස් ද ත්‍රිවිධ හමුදාව හා පොලීසියේ මූලික ආරක්ෂිත සැලසුම්ද අනුව කටයුතු කරමින්, විශේෂයෙන්ම කොළඹ වරායේ කොවිඞ්-19 ව්‍යාප්තිය පාලනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් වරාය සේවා අඛණ්ඩව මේ දක්වා පවත්වා ගෙන යාම, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතාගේ නායකත්වයෙන් සිදුවේ.

මෙම වර්ෂයේ පෙබරවාරී මාසයේ දී රට තුළ සිදුවන මෙම කොවිඞ්-19 වසංගතයේ වර්ධනය සෞඛ්‍ය අංශ විසින් රාජ්‍ය හා පෞද්ගලික අංශ දනුවත් කරන ලදී.

එමෙන්ම මාර්තු මස 11 වන දින ශ්‍රී ලංකාවේ පළමු කොවිඞ් 19 ආසාදිතයා හමුවේ. ශ්‍රී ලංකා වරාය අධිකාරිය ද ඇති වන තත්ත්වය සම්බන්ධයෙන් සිය දැඩි අවදානය යොමු කෙරිණි. ඒ අනුව මාර්තු මස 10 වන දින මහපොළ අභ්‍යාස ආයතනයේදී කොවිඞ්-19 පිළිබඳව සෑම අංශයකම සේවක මහත්ම මහත්මීන්  දැනුවත් කිරීමට පියවර ගැණිනි.

2020 මාර්තු 13 වන දින පවත්වන ලද කලමණාකරණ රැස්වීම කොවිඞ්-19 ව්‍යප්තිය වරායන් තුළ පාලනය කිරීමට අවශ්‍ය පියවරයන් සම්බන්ධයෙන් අවධානය යොමු කර වන්නක් විය. එහිදී වසංගත ව්‍යාප්තිය පාලනයට ඉතා වැදගත් තීන්දු තිරණ කිහිපයක් ගැණිනි.

ඒ අනුව යමින්, කාර්යාල පරිශ්‍ර හා වැඩබිම් වල සේවකයින් සඳහා අවශ්‍ය වූ මූලික විෂබීජහරණ උපකරණ හා දියර දලබා දීමත් සියලූ සේවක පිරිස් සඳහා මුඛ ආවරණ ලබාදීමත් සිදු කෙරිණි. එමෙන්ම රජයේ නියාමනය අනුව සියලූම විදේශ සංචරනයන් අත්හිටු වීමටත් ක්‍රියා කෙරිණි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උප සභාපති වරයාගේ මුලිකත්වයෙන් හා අතිරේක කළමනාකාර අධ්‍යක්ෂ වරයාගේ සම්බන්ධීකරණයෙන් යුතුව  “කොවිඞ්-19 නිවාරණ කමිටුවක්” පත් කෙරිණි. ඒ හරහා රජයේ හා සෞඛ්‍ය අංශ විසින් ලබාදෙන උපදෙස් හා නියෝග ආයතනය තුළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නියාමනයන් ලබා දෙයි. එමෙන්ම ඒ යටතේ පිහිටවන ලද  “කොරෝනා වෛරස නිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානය” ලේකම් කාර්යාල පරිශ්‍රයේ පිහිටුවන ලදී. එම මෙහෙයුම් මධ්‍යස්ථනය විසින් වරාය පරිශ්‍රයේ කොවිඞ්-19 සම්බන්ධයෙන් සියලූ තොරතුරු රැස් කිරීම, වාර්තා කිරීම හා අවශ්‍ය පරිදි ඉහළ කළමණාකාරීත්වය දැනිවත් කිරීම ද නෞකා සම්බන්දයෙන් පැන නගන ගැටළු සම්බන්ධීකරණය ද ආයතනික අවශ්‍යතා සම්බන්ධීකරණය ද වරාය ගාස්තු හා සේවා සැපයුම් ගැටලූ ද සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය ද කරනු ලබයි.

එසේම ආරක්ෂක කොට්ඨාශය තුල  “විෂබීජ හරණ ඒකකයක්” පිහිටුවීමට ද මේ හා සමගාමීව හැකිවිය.

ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවෙහි  “කොවිඞ්-19 නිවාරණ ඒකකය” හා එක්ව වරාය පරිශ්‍රයන්හි කොවිඞ්-19 වසංගතය පාලනය කිරීමේ කටයුතු පවත්වාගෙන යයි. ඒ හා සමගාමීවම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වෛද්‍ය කොට්ඨාසය ද කොවිඞ් 19 පාලනය කිරීම සඳහා රජයේ සෞඛ්‍ය නිර්දේශයන්ට අනුකූලව සේවක සේවිකාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය විධි විධාන ක්‍රියාවට නංවවමින් සිටී.

එසේම මෙම වසංගතයේ ගෝලීය හා දේශීය ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් වරාය තුළ මෙහෙයුම් හා අනෙකුත් කටයුතු වල නිරත ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කාර්ය මණ්ඩලය සඳහා නව සේවා මුර ක්‍රමයක්ද හඳුන්වා දෙනු ලැබීය. එමෙන්ම වරායට පැමිණෙන හා සේවයට වාර්තා කරන සෑම සේවකයෙකුම වෛද්‍ය කොට්ඨාශය වෙත යොමු කිරීමටත් එහිදී මූලික සෞඛ්‍ය නිර්දේශයන් ලබාදීමටත් කටයුතු කරයි. එසේ සේවයට වාර්තා කරන සෑම සේවකයෙකුම අදාළ කොට්ඨාස ප්‍රධානියාගේ නිර්දේශය මත සේවයට වර්තා කිරීම ද අනිවාර්ය කොට ඇත. එසේම රජයේ චක්‍රලේඛ ප්‍රකාරව, නිවසේ සිට රාජකාරී සිදු කිරීමේ පහසුකම් ද අත්‍යවශ්‍ය සේවකයින් හ නිළධාරීන් වෙත සලසා ඇත.

ඇඳිරි නීති කාලසීමාව තුළ රාජකාරී සඳහා වාර්තා කරන සේවක මහත්ම මහත්මීන්ගේ සුභ සාධනය ද ඉතා ඉහල මට්ටමකින් පවත්වා ගෙන යාමට ආයතනික පියවර රැසක් ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ යටතේ ප්‍රධාන සෑම මාර්ගයක් සඳහා ම ප්‍රවාහන පහසුකම් සලසා ඇත. තවද අඛණ්ඩව ආහාර පාන ලබා දීමත් ඉන්ධන සහන ලබා දීමත් සහනදායී ක්‍රමවේද මත පාරිභෝගික ක්‍රමවේද මත භාණ්ඩ මිල දී ගැනීමට ඉඩ ප්‍රස්ථාව සලසා දීමත් දීර්ඝ කාලීනව ඖෂධ ලබාගන්නා සේවක මහත්ම මහත්මීන්ට එම පහසුකම් අඛණ්ඩව ලබාගැනීමටත් අවශ්‍ය පහසුකම් සලසා ඇත.

සේවකයින් විසින් ආයතනයෙන් ලබාගෙන ඇති දසමස් ණය/ ප්‍රවාහන ණය/ බහුකාර්ය ණය/ අපදා ණය සඳහා වන ණය වාරීකද පොළිය ද  අප්‍රේල් හා මැයි මාස සඳහා අය නොකිරීමට කළමනාකාරීත්වය විසින් තිරණය කොට ඇත.මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ආයතනය තුළ ක්‍රියාත්මක සමුපකාර මුල්‍ය ආයතනද ඔවුන්ගේ ණය වරික අප්‍රේල් මාසයේ දී සිය සාමජිකයින් අය නොකිරීමට තීරණය කොට ඇත.

හදිසියේ උත්ගත වූ වසංගත තත්ත්වය හා  පූර්ව දැනුම් දීමකින් තොරව ක්‍රියාත්මක වූ ඇඳිරි නීති තත්ත්වය පදනම් කර ගනිමින්, නාවික හා සමුද්‍රීය වෙළඳ පාර්ශවයන් වෙත අවශ්‍ය සහන ලබා දීමට ද වරාය හා නාවික අමාත්‍යංශය මැදිහත් වීම මත හැකිවිය.  ඒ අනුව ප්‍රථයෙන් ම වරායට පැමිණෙන නෞකාවන් සඳහා වන ප්‍රමාද ගාස්තු වලින් නිදහස් කිරීමට කටයුතු කෙරිණි. එමෙන්මෙ වරාය හා ආශ්‍රිත් සේවා  අඛණ්ඩව පවත්වා ගෙන යාමට අවශ්‍ය ඇඳිරි නීති බල පත්‍ර ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් ඒ ඒ ආයතන වෙත සලසා දෙන ලදි. ශ්‍රී ලංකා වරාය අධිකාරියන් නිකුත් කරන පුද්ගල හා වාහන බලපත්‍ර ( වාර්ෂික/මාසික ) කල් ඉකුත් වීම සඳහා ද ඒ ඒ ආයතන වෙත සහනයන් ලබා දෙන ලදී.

තවද විෂයභාර ගරු  අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත, 2020 මාර්තු 16  වන දින සිට 2020 අප්‍රේල් 13 දක්වා  “අංගන හා ගුදම් කුළී ගාස්තු” (occupational charges) වලින් සම්පූර්ණයෙන්ම නිදහස් කරන ලදී.

වරාය පරිහරනය කරන ආනයනික වෙළඳ/කර්මාන්ත නියෝජිත ආයතනයන් හී ඉල්ලීම් සලකා බලා ගරු විෂයභාර අමාත්‍යවරයාගේ නියෝගය පරිදි 2020 අප්‍රේල් 14 වන දින සිට 2020 මැයි මස 7 වැනි දින දක්වා වන කාල සීමාව සඳහා  “මූලික අංගන හා කුළී ගාස්තු” (basic occupational charges) පමණක් අය කිරීමටත්, අදාල කාල සීමාව සඳහා වන ආනයනික දේශීය බහලූ සඳහා  “දණ්ඩන කුළී ගාස්තු” (penal charges) වලින් සම්පූර්ණයෙන්ම නිදහස් කිරීමටත් කටයුතු සම්පාදනය කර ඇත.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ, ආයතනික, කළමනාකරණ හා පරිපාලන ව්‍යූහය ද පර්යන්ත මෙහෙයුම් ද නාවික මෙහෙයුම් ද අඛණ්ඩව පවත්වාගෙන යාමට මේ අනුව හැකියාව ලැබී තිබේ. එමෙන්ම කොළඹ වරාය තුළ ස්ථාපිත පුද්ගලික පර්යන්ත වන SAAGT පර්යන්ත සමාගමත් CICT පර්යන්ත සමාගමත් එක් කරගනිමින් කොළඹ වරායේ කටයුතු පවත්වාගෙන යෑමටත් එයින් සියලූ ජාත්‍යන්තර නෞකා ජාල සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියට හැකියාව ලැබී තිබේ.

කොවිඞ්-19 තත්ත්වයට මුහුණ දීමට නොහැකිව කලාපයේ බොහෝ වරාය වසා දමා ඇති තත්වයක කොළඹ වරාය ඇතුළු ශ්‍රී ලංකාවේ සියලූ වරායන් සිය මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකිවී තිබීම සුවිශේෂී තත්ත්වයකි. ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් අත් කරගත් අතර කලාපීයව සිය විශ්වසනීයත්වය තහවුරු කර ගැනීමකි.

වරාය හා නාවික විෂය භාර ගරු අමාත්‍යවරයා ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙස ජෙනරාල් දයා රත්නායක මහතා ද සිය තීන්දු තීරණ ගැනීමට ප්‍රථම, දේශීය ආනයන අපනයන කරුවන්, නෞකා නියෝජිත ආයතන, වරාය පරිහරණය කරන්නන්, වෘත්තිය සංගම්, ආයතනික කළමණාකාරීත්වය හා නිලධාරීන් යන සෑම ක්ෂේත්‍රයකම අදහස් සඳහා ද ඉඩ ප්‍රස්තාවන් ද සලසා දී ඇත.

මෙවැනි අවදානම් කැපකිරීමක් සිදු කොට වරාය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට උනන්දු වන්නේ ඇයි? යන කාර්යය ඔබට පැන නගිනු ඇත ඒ සඳහා මූලික කාරණා දෙකක් බලපායි.

පළමු  කාරණ වන්නේ දේශීය කාරණායි. එනම් දේශීය භාණ්ඩ ආනයනය, එනම් අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය, අත්‍යවශ්‍ය භාණ්ඩ හා සුඛෝපභෝගී භාණ්ඩ ආනයනික ක්‍රියාවලියේ විශාල යුතු ප්‍රතිශතයක් මෙහෙය වන්නේ වරාය හරහායි. එබැවින් මෙවන් ආපදා අවස්ථාවක හිගයකින් තොරව අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය හා භාණ්ඩ රට තුළ තිබීමට නම් වරාය මෙහෙයුම් හා සේවා අඛණ්ඩව පැවතිය යුතුය.

දෙවන කරුණ වන්නේ අන්තර්ජාතික වරායක් ලෙස කොළඹ වරාය සතු සහසම්බන්ධතාවයන් අඛණ්ඩව පවත්වාගෙන යාමයි. ලෝ පුරා පැතිර පවතින වසංගත තත්වය හමුවේ වුවද ගෝලීය අවශ්‍යතාවයන් වෙනුවෙන් ගමන් ගන්නා නෞකා හා අනිකුත් මුහුදු හා ආරක්ෂක යාත්‍රාවන් හී අවශ්‍යතාවන් අදාළ ව සේවා සැපයීම්ට අපට සිදුවේ. එසේ නොවුණහොත් නාවික කේන්ද්‍රයක් ලෙස අප ගොඩ නගාගෙන ඇති අන්තර්ජාතික කීර්ති නාමයට හානි පැමිණිය හැකිය.

මෙම කරුණු දෙක මත පදනම්ව අද වන විටත් වරාය යාන්ත්‍රණය ක්‍රියාත්මක වීම හැඳින්විය හැකිය.  එහි අන්තර්ගත සුවිශේෂීම කරුණ වන්නේ, මේ වන විට සේවයට වාර්තා කරන කෑම සේවකයෙකුම මෙම අවදානම පිළිබඳව දැනුවත්ව රාජකාරිය සඳහා පැමිණීමයි. ඔවුන් මේ කැපවීම් සිදුකරනුයේ ජාතික යුතුකම්ක්  ලෙසය.

එමෙන්ම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවක මහත්ම මහත්මීන් එයින් ඔබ්බට ගොස් රට තුළ සිදු වූ සෑම ජාතික ආපදාවක දී මෙන්ම මෙවරද සියදිනක වැටුප පරිත්‍යාග කරමින් කොවිඞ්-19 නිවාරණ අරමුදල සඳහා සිය දායකත්වය ලබාදීමට ද කැප වෙමින් සිටී . 

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමස්ථ සේවක මහත්ම මහත්මීන්ගේ මෙම සියලූ කැප කිරීම් ඉතාමත් අගය කරන අතර වරාය සේවා අඛණ්ඩව පවත්වා ගෙන යාමට දායකත්වය සපයන, SAGT හා CICT සහෝදර පර්යන්ත සමාගම් සඳහා ද අනෙකුත් වරාය ආශ්‍රිත සේවා සපයන ආයතනයන් සඳහා ද ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා පොලීසිය, ශ්‍රී ලංකා නාවික හමුදාව යන ආයතන සඳහා ද වරාය සේවා ලාභීන් සඳහා ද මෙම වසංගත තත්ත්වය තුළ සිදු කරන කැප කිරීම් ඉතාමත් අගය කරයි.

සටහන : කාව්‍ය ඉන්ද්‍රජිත්, සහකාර කළමණාකරු, සන්නිවේදන හා මහජන සම්බන්ධතා, ශ්‍රී ලංකා වරාය අධිකාරිය.

Leave a Reply

*

16 + 11 =