ජාත්‍යන්තර කම්කරු දිනයේදීත් වරාය අඛණ්ඩව ක්‍රියාත්මකයි

එදා මෙදා තුර සිය කම්කරු අයිතිවාසිකම් හා වරාය ආරක්ෂා කර ගැනීමටද එහි පරම්පරාගත දියුණුවද වෙනුවෙන් වරාය කම්කරු පන්තිය සෑම විටම ඒකරාශී වී ඇත.

මැයි පළමු වැනිදාට යෙදෙන ලෝක කම්කරු දිනය සමස්ත ලෝක වාසී සියලු වැඩකරන ජනතාවයේ සුවිශේෂී වූ දිනය වන අතර එදින නිවාඩු දිනයක් ලෙස ජාත්‍යන්තරව සම්මත කොට ඇත.

වැඩකරන ජනතාවයේ බලයත් සාමූහිකත්වයත්  ලොවට හඬ ගා කියන මෙම දිනය ශ්‍රී ලංකාවට සුවිශේෂී දිනයක් වේ.   එය විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ විශාලතම කම්කරු එකතුවක් සිටින වරාය පද්ධතියටද විශේෂ දිනයකි.

ලෝක කම්කරු දින ඉතිහාසය සැලකීමේදී, 1886 මැයි මස පළමුවන දින ඇමෙරිකාවේ චිකාගෝ නුවර කම්කරුවෝ පැය 08 ක වැඩ දිනයක් ඉල්ලා දියත් කළ වැඩ වර්ජනයට සේවා ස්ථාන 11500 වැඩ කළ 3,50,000 ක් පමණ සේවක කම්කරු පිරිසක් සහභාගී වූහ.

ඉන් පසු, 1890 මැයි පළමුවැනිදා සිට වසරක් පාසා කම්කරු දිනය ලෙස නම් කරන ලද එම දිනය අන්තර්ජාතිකව අද දක්වාම සමරයි. 1888 දී පළමුවරට ගායනය කරන ලද “ සාදුකින් පෙලෙන වුන් දැන් ඉතින් නැගිටියව්,” යන ගීතය අද වන විට ලෝකයේ විවිධ භාෂා වලින් කම්කරුවන් විසින් ගායනා කරන  කම්කරු ගීය බවට පත්වී තිබේ.

කම්කරු දිනය අලලා අප විසින් සකස් කරන ලද කෙටි වීඩියෝව

ශ්‍රී ලාංකික කම්කරු ඉතිහාසයේ පියා වන්නේ ඒ.ඊ. ගුණසිංහ මහතායි. 1891 උපත ලද ඒ මහතා  ශ්‍රී ලංකාවේ වරායේ ඇතුළු කම්කරු ව්‍යාපාරයට පණ පෙවීය. 1922 දී ලංකා කම්කරු සංගමය බිහි කළ ඔහු 1923, 1927, 1929, 1933, දක්වා සිදු කළ අරගල වලින් කම්කරු අයිතීන් විශාල ප්‍රමාණයක් දිනාගත් බවට වාර්තා වී ඇත.

වරායේ කම්කරු අරගල සැලකීමේදී 1927 වරාය වැඩවර්ජනය ඔහු විසින් දින 26 ක් පුරා පවත්වන ලද අතර ජයග්‍රහණ රැසක් දිනා ගත් බවට වාර්තා වේ. වරාය කම්කරු අරගල අතර 1956 හර්තාලයද 1958 ජනසතු ව්‍යාපාරයද සුවිශේෂී මතක සටහන්ය.

එදා මෙදා තුර සිය කම්කරු අයිතිවාසිකම් හා වරාය ආරක්ෂා කර ගැනීමටද එහි පරම්පරාගත දියුණුවද වෙනුවෙන් වරාය කම්කරු පන්තිය සෑම විටම ඒකරාශී වී ඇත. එමෙන්ම ඔවුන්ගේ ලේ දහදිය දුක් කඳුළු වරාය වෙනුවෙන් හෙලා ඇති බවට ඉතිහාසය සාක්ෂි දරන්නේය.

මින් පෙර සෑම වසරකදීම යෙදුණු සෑම කම්කරු දිනයක්ම වරාය වෘත්තීය සංගම් විසින් උත්කර්ෂවත් ලෙස තම සාමාජිකයින් සමග පවත්වා තිබේ.  

එහෙත් පවත්නා කොවිඩ් -19 වසංගත තත්වය සැලකිල්ලට ගනිමින් වරායේ සෑම වෘත්තීය සංගමයක්ම සිය අභිමානවත් මැයි දින සැමරුම් වරාය තුළ නොපවත්වන තත්වයක් අද දවසේ දක්නට ඇත. එසේම ජාත්‍යන්තර කම්කරු දින නිවාඩුව පිළිබඳවද සැලකිල්ලට නොගෙන ඔවුන් අද දවසේ පවා වරායේ සියලු වැඩබිම් අඛණ්ඩව පවත්වාගෙන යෑමට සිය ශක්තිය යොදවමින් සිටිති.  

මෙම තත්වය පිළිබඳව සිය විශේෂ අවධානය යොමු කරන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සාභාපති ජෙනරාල් දයා රත්නායක මහතා ඇතුළු කළමනාකාරිත්වය, අද දවසේ සිය රාජකාරි ඉටු කිරීමට සේවයට වාර්තා කොට ඇති ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සියලුම සේවක මහත්ම මහත්මීන්ටත්, නිවෙස්වල සිට සිය රාජකාරී ඉටුකරන සේවක මහත්ම මහත්මීන්ටත්, සියලු වෘත්තීය සංගම්වලටත්, වරාය හා ආශ්‍රිත සේවාවන් ඉටුකරන ආයතනවලට සිදුකරන කැප කිරීම වෙනුවෙන් සිය හෘදයාන්ගම කෘතඥතාව හා ප්‍රශංසාව පිරිනමයි.  

Leave a Reply

*

twenty − sixteen =