කොළඹ වරායේ ප‍්‍රතිනැව්ගත බහලූ මෙහෙයුම් 19.8%කින් ඉහළට

කොළඹ වරායේ ප‍්‍රතිනැව්ගත බහලූ මෙහෙයුම් 19.8%කින් 2018 පළමු අර්ධයේ දී වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇත. 2017 වර්ෂයේ පළමු අර්ධයේ දී මෙහෙයවන ලද බහලූ ඒකක 2,281,636 ට සාපේක්‍ෂව 2018 වර්ෂයේ පළමු අර්ධයේ දී බහලූ ඒකක 2,733,906ක් මෙහෙයවීමට කොළඹ වරාය සමත්ව තිබේ. මෙය වාර්තාගත වැඩිවීමකි. රජය සතු පර්යන්තයක් ලෙස ක‍්‍රියාත්මක ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ ජය බහලූ පර්යන්තය 2018 වසරේ පළමු
අර්ධයේ දී 20.6%ක කැපී පෙනෙන වර්ධන ප‍්‍රතිශතයක් ප‍්‍රතිනැව්ගත බහලූ මෙහෙයුම් වලදී අත්කර ගෙන ඇත. 2017 වසරේ එම අර්ධයේ දී සිදුකළ බහලූ ඒකක 776,002ක ධාරිතාවය අභිබවමින් බහළු ඒකක 935,848 ලෙස 2018 වසරේ සිදුකර ඇත.

කොළඹ වරාය 2018 වර්ෂය අවසානය වන විට බහළු ඒකක මිලියන 7 ක් මෙහෙයවීමට අපේක්‍ෂා කරයි. මෙම තත්ත්වය අනාවරණය කරමින් වරාය හා නාවික කටයුතු ගරු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ප‍්‍රකාශ කරනුයේ කොළඹ වරායේ සියළු පර්යන්ත එක්ව කටයුතු කරමින් අන්තර් ජාතිකව කොළඹ වරාය ඉහළ තලයකට ඔසවා තැබීමට අවශ්‍ය ප‍්‍රවර්ධනයන් සිදු කරන බවයි. ඒ අනුව, නව ගණුදෙනුකරුවන් හා නෞකා සමාගම් කොළඹ
වරාය වෙත ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය වන පසුබිම සකස් කරමින් පවතින බවයි.

මෙහි පියවරක් ලෙස ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ මූලිකත්වයෙන් යුතුව කොළඹ වරාය තුළ ක‍්‍රියාත්මක කොළඹ ජාත්‍යන්තර බහළු පර්යන්තය හෙවත් CICT හා සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්ස් හෙවත් SAGT පර්යන්තයන් සමග රජයට හිමි පර්යන්තයක් වන ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ ජයබහළු පර්යන්තය හෙවත් JCT යන පර්යන්තයන් සාමූහික ගිවිසුමකට අත්සන් තැබිණි. එයින් බලාපොරොත්තු වන්නේ කොළඹ වරාය කටයුතු ප‍්‍රවර්ධනය කිරීමේ දී මෙම පර්යන්ත තුනේම දායකත්වය ලබා ගැනීමයි.

මේ සම්බන්ධයෙන් අදහස් පල කරන ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක‍්‍රම දිසානායක මහතා දක්වන්නේ පර්යන්ත අතර තරගකාරීත්වයක් තිබුණ ද ඔවුන්ට එක්සත්ව අන්තර් සහයෝගීතාවයකින් යුතුව සිය මෙහෙයුම් කොළඹ වරාය තුළ සිදු කිරීමට හැකි බවයි. ‘‘ආසියාවේ සිට යුරෝපය දක්වා ප‍්‍රධාන නෞකා ජාල 17 ක් (Loops) තිබුණ ද එයින් කොළඹ වරායට පැමිණෙන්නේ නෞකා ජාල 03 ක් පමණි. එබැවින්, එම නොයෙක් නෞකා ජාලයන් ආකර්ශණය කර ගැනීමට නම් නිසැකවම කොළඹ වරායේ පර්යන්ත තම ප‍්‍රවර්ධනයන් එක්ව සිදු කළ යුතුය. මෙයින් අදහස් වන්නේ කොළඹ වරාය ආරක්‍ෂා කර ගැනීමට නම් ඒ ඒ පර්යන්තයන් හී සුවිශේෂිතාවන් ප‍්‍රවර්ධනය කළ යුතු බවයි.’’

ජාත්‍යන්තරව හඳුනාගත් දර්ශකයන්ට අනුව කොළඹ වරාය මේ වන විට ලෝකයේ හොඳම බහලූ වරායන් අතර 23 වන ස්ථානයේ ද, ලෝකයේ හොඳම ජාලගත වරායන් අතර 13 වැනි ස්ථානයේ ද පසුවේ.

මෙම තත්ත්වය පිළිබඳව අවධානය යොමු කළ වරාය හා නාවික කටයුතු ගරු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සිය ධූරයේ රාජකාරී ආරම්භ කිරීමත් සමගම වරාය ක්‍ෂේත‍්‍රයේ අවශ්‍ය සංවර්ධන කටයුතු වෙනුවෙන් අවශ්‍ය පියවර ගැණිනි. ඒ අනුව, වරාය ක්‍ෂේත‍්‍රයේ සංවර්ධනය සඳහා වන තුන් අවුරුදු (03* සැලැස්මක් එළි දැක්විණි. ඒ තුළින් ශ‍්‍රී ලංකාව දකුණු ආසියාවේ ප‍්‍රධානතම නාවික මුවදොර කිරිම බලාපොරොත්තුවයි.

Leave a Reply

*

5 × 1 =