ප‍්‍රථම වතාවට ජපන් විදේශ අමාත්‍යවරයෙකු කොළඹ වරායට පැමිණෙයි

ශ‍්‍රී ලාංකේය වරාය ඉතිහාසයේ ප‍්‍රථම වතාවට ජපාන විදේශ අමාත්‍යවරයෙකුගේ ආගමනය සනිටුහන් කරමින් ජපාන විදේශ අමාත්‍ය ටාරො කොනො මැතිතුමා පසුගිය දා කොළඹ වරායේ විශේෂ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වි ය. වසර 15කට පසුව ජපාන විදේශ අමාත්‍යවරයෙකු මෙරටට පැමිණීම සුවිශේෂ කරුණක් වන අතර, ශ‍්‍රී ලංකාව හා ජපානය අතර විශිෂ්ට වෙළඳ සබඳතාවක් මෙතුලින් ගොඩනැගෙනු ඇත. කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය හා නියමු මධ්‍යස්ථානය ( Pilot Station) ද එතුමාගේ නිරීක්‍ෂණයට ලක් වි ය.

කොළඹ වරාය මේ වන විට අත්කර ගෙන ඇති ප‍්‍රගතිය ජපාන විදේශ අමාත්‍ය ටාරො කොනො මැතිතුමාගේ විශේෂ ඇගයුමකට ලක් වූ අතර, මෙහි දී අදහස් දැක් වූ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක‍්‍රම දිසානායක මහතා, සමුද්‍රීය කලාපයේ කේන්ද්‍රීය නාවික මධ්‍යස්ථානයක් බවට පත් වීමට කොළඹ
වරාය සතු පිහිටීමේ උපාය මාර්ගික ශක්‍යතාව මෙන් ම වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ නායකත්වය යටතේ ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය මේ වන විට තුන් අවුරුදු සැලැස්මක් සකස් කොට ඇති බවත්, ඒ මගින් ඉදිරි කාලය තුළ දී සංවර්ධන කටයුතු වඩාත් වේගවත්ව ඉදිරියට ගෙන යාමට හැකි බවත් ජපාන විදේශ අමාත්‍යවරයාට පැහැදිලි කළේ, නව පර්යන්ත ඉදිකිරීම ඇතුළු පුළුල් යටිතල පහසුකම් ක‍්‍රියාදාමය කොළඹ වරාය තුළ ස්ථාපිත වීම පිළිබඳ එතුමාගේ විශේෂ අවධානයට ලක්කරමිනි.

මෙම අවස්ථාවට ජපාන තානාපති අතිගරු කෙනිචි සුබනුමා ඇතුළු දූත පිරිස මෙන් ම, ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ උප සභාපති පී.ජී. දසනායක, හාබර් මාස්ටර් කපිතාන් අතුල හේවාවිතාරණ, ප‍්‍රධාන කළමණාකරු (අලෙවි හා ව්‍යාපාර සංවර්ධන) උපුල් ජයතිස්ස, ප‍්‍රධාන කළමණාකරු වැ.බ. (සන්නිවේදන හා මහජන සම්බන්ධතා) නලින් අපොන්සු යන මහත්වරුන් හා ජපාන මාධ්‍යවේදීන් පිරිසක්ද මේ අවස්ථාවට එක් වූ හ.

Leave a Reply

*

19 − 14 =