බහලූ මෙහෙයුම්හි ධනාත්මක වර්ධනය උදෙසා නැගෙනහිර පර්යන්තය කඩිනම්ව ඉදිකරනවා – ආචාර්ය පරාක‍්‍රම දිසානායක

ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය 2018 වර්ෂය සඳහා වැඩ ඇරඹීම පසුගිය දා ආගමික කටයුතු වලට මුල්තැන දෙමින් පැවැත් විණි. ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සම්බුද්ධ ජයන්ති චෛත්‍ය පරිශ‍්‍රයේ දී, රාජ්‍ය සේවයේ ප‍්‍රතිඥාව කියවා රජය ගෙන යන වැඩ පිළිවෙලට දෙමින් ඇරඹි මෙම උත්සව අවස්ථාවේ සභාව ඇමතූ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ ගරු සභාපති ආචාර්ය පරාක‍්‍රම දිසානායක මහතා, 2018 වසර ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සැමට සුවිශේෂී වසරක් බවත්, 2018 වසර ඇරඹුමේදීම සැමට සඵලදායි වැටුප් වැඩිවීමකට එළඹෙන බවත් සහෝදර පර්යන්තයන් වන SAGT CICT දායකත්වයෙන් යුතුව සමුද්‍රික ක්‍ෂේත‍්‍රයේ ගෝලීයකරණය හා තරඟකාරීත්වයට මුහුණදීමට අපේක්‍ෂා කරන බවත්, එහිදී වරාය අධිකාරියේ සියලූ ක්‍ෂේත‍්‍රයන්ගේ ඵලදයිතාවය තවදුරටත් වැඩි කිරීමට සියලූ සේවක මහත්ම මහත්මීන්ගේ මනා කාර්යක්‍ෂම සේවාව ඉතා වැදගත් බවද පැවසීය. මේ වසර තුළ නව මානව සම්පත් සැළැස්මක් ඔස්සේ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ මානව සම්පත් සංවර්ධනයට ද අවකාශය සලසා ඇති බවත්, බහලූ මෙහෙයුම් හි ධනාත්මක වර්ධනය උදෙසා නැගෙනහිර පර්යන්තය කඩිනම්ව ඉදිකරන බවත් පැවසී ය.

වැඩිදුරටත් කරුණු දැක්වූ සභාපති ආචාර්ය පරාක‍්‍රම දිසානායක මහතා, ගෙවීගිය 2017 වර්ෂය ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට සංධිස්ථාන රැසක් හිමිකර දුන් වර්ෂයක් බවත් අධික ණය බරකින් ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය මුදවා ගැනීමට ගරු වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ
මැතිතුමාගේ නායකත්වය හමුවේ හැකිවීම ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය ලැබූ සුවිසල් ජයක් බවත් පැවසී ය.

තවද ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ ජය බහලූ පර්යන්තය, SAGT, CICT මෙහෙයුම් අංශයන්හි කාර්යක්‍ෂමතාවය සමගින් 2017 වසර තුළ බහලූ මෙහෙයුම් මිලියන 06කට අධික ප‍්‍රමාණයක් මෙහෙයවීමට කොළඹ වරායට හැකියාව ලැබීම සතුටට කරුණක් බවත්, ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටියේ ය. නාවික ක්‍ෂේත‍්‍රය තුළ කේන්ද්‍රීය වරාය බවට පත් වෙමින් දකුණු ආසියානු කලාපය තුළ ප‍්‍රථම ස්ථානය දිනා ගැනීමට ද කොළඹ වරාය ට හැකියාව ලැබුණු අතර, ඒ සඳහා කළමණාකාරීත්වයේ මෙන්ම සියලූම සේවක මහත්ම මහත්මීන්ගෙන් ලද උත්සාහය හා කැපවීම ඉතා අගය කොට සලකන බවත් හෙතෙම වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටියේය.

මෙම අවස්ථාව සඳහා ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ උප සභාපති පී.ජී.දසනායක, කළමණාකාර අධ්‍යක්‍ෂ – එච්.ඞී.ඒ.එස්.පේ‍්‍රමචන්ද්‍ර, අතිරේක කළමණාකාර අධ්‍යක්‍ෂ දත්ත ගුණසේකර ඇතුළු අධ්‍යක්‍ෂවරුන්, කොට්ඨාශ ප‍්‍රධානින්, විධායක නිලධාරීන් හා වරාය හා නාවික කටයුතු අමාත්‍යංශය නියෝජනය කරමින් පැමිණි නිලධාරි මහත්ම මහත්මීන් ද, වෘත්තීය සංගම් නියෝජිතයන් සහ සේවක මහත්ම මහත්මීන් රැසක් එක්ව සිටිය හ.

Leave a Reply

*

five × 3 =