මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ පහසුකම් වැඩිකිරීමට වරාය හා ගුවන්තොටුපොළ සූදානම්

සංචාරක කර්මාන්තයේ නියැළෙන හෝටල් හිමිකරුවන් හා ඒජනත්වරුන් විසින් ලබා දී ඇති තොරතුරු අනුව ඉදිරි මාස කිහිපය තුළ මෙරටට සංචාරකයින්ගේ පැමිණීමේ වැඩි ප්‍රවණතාවයක් තිබෙන බව අනාවරණය වී ඇත. එම කරුණු සැලකිල්ලට ගනිමින් වරාය සහ ගුවන් තොටුපොළ තුළ පහසුකම් වැඩිකිරීමට කටයුතු කරන ලෙසට වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අදාල බලධාරීන් ට උපදෙස් ලබා දී ඇත.

මෙම සැලසුම් සහගත වැඩිපිළිවෙළ ක්‍රියාත්මක කිරීම පිළිබඳව අමාත්‍යවරයා වරාය, ගුවන්තොටුපොළ, රේගුව සහ ආගමන විගමන යන ආයතනවල නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක් 11(අද දින) අමාත්‍යාංශයේ දී පවත්වන ලද අතර, ඉන් අනතුරුව වරාය තුළ ක්‍ෂේත්‍ර පරික්ෂාවක ද නිරත විය.

වසර දෙකහමාරකට පසුව නෞකා මගින්, මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින්ගේ ප්‍රමාණය වැඩිවන අතර, ඉදිරි මාස දෙක තුළ සංචාරකයින් රැගත් නෞකා 08ක් හා ලබන වසරේ අප්‍රේල් මස දක්වා මගී නෞකා 10 ක් කොළඹ හා ත්‍රිකුණාමල වරායයන් වෙත පැමිණීමට නියමිතය.

ඒ අනුව ඉන්දියාවේ සිට සංචාරකයින් 2800 ක් හා කාර්ය මණ්ඩලය 1500ක් රැගත් නෞකාවක් සහ ඕමානයේ සිට මගින් 3500ක් හා කාර්ය මණ්ඩලය රැගත් නෞකාවක් මෙම මස මස පැමිණිමට නියමිතය.

එහෙයින් මෙම වැඩිවන සංචාරකයින්ගේ රේගු හා ආගමන විගමන සේවා සැපයීම සඳහා වරාය හා ගුවන්තොටුපොළ තුළ වැඩි කවුලු ප්‍රමාණයක් ස්ථාපිත කිරීමටත්, බදු රහිත වෙළෙද සැල්වල සේවා වැඩිකිරීමටත් අනෙකුත් සනිපාරක්ෂක පහසුකම් වැඩිකිරීමටත් තීරණය කර ඇත.

මෙම සාකච්ඡාවට සහ ක්‍ෂේත්‍ර චාරිකාවට අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර, වරාය අධිකාරියේ සභාපති කීත් ඩී. බර්නාඩ්, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජෙනරාල් එච්. ඉලුක්පිටිය මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.

Leave a Reply

*

two × 4 =