ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවක මහත්ම මහත්මීන් 35 දෙනෙකු වරාය කළමනාකරණ ඩිප්ලෝමාව ලබයි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යාතනයේ වරාය කළමණාකරන ඩිප්ලෝමාව හැදැරු සේවක මහත්ම මහත්මීන් 35 දෙනෙකු සඳහා ඩිප්ලෝමා සහතිකපත් ප්‍රදානය මහපොළ ලලිත් ඇතුලත් මුදලි ශ්‍රවණාගාරයේදි පසුගිය දා පැවැත්විණි .

කැලණිය විශ්වවිද්‍යාලය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපදෙස් හා සම්පත් දායකත්වයෙන් යුතුව අන්තර්ජාතිකව පිළිගන්නා මට්ටමකින් යුතු මෙම ඩිප්ලෝමා පාඨමාලාව වරාය සේවක මහත්ම මහත්මීන් සඳහාම ඉලක්ක කොට පවත්වනු ලබන ඩිප්ලෝමා පාඨමාලාවකි. මෙලෙස පසුගිය දා සහතිකපත් ලැබුවේ එහි දෙවැනි කණ්ඩායමයි.

ඉතා චාම් හා ගම්භීර අයුරින් පැවැත්වුණු මෙම ඩිප්ලෝමා ප්‍රදානයේ, ප්‍රධාන ආරාධිතයා ලෙස වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහභාගි විය.

මෙහිදී අදහස් දැක්වු අමාත්‍යවරයා, “ අද දවසේ ඩිප්ලෝමාධාරීන් ලෙස සහතිකපත් ලබන ඔබ සැම අගය කිරීමට ලැබීම මට ඉතාම සතුටට කාරණයක්. රටක සම්පත් යනු භෞතික සම්පත්ම නොවේ. මානව සම්පතද සෑම රටක්ම ඉතාම වටිනාම සම්පතක් ලෙස සලකනවා. ජපානය සැලකුවහොත් දෙවැනි ලෝක යුද්ධයේදි සියල්ල අහිමි කරගත් රටක්. නමුත් ඔවුන් අද බලගතු රටක්. ඔවුන් ඒ සඳහා ගත්ත පියවර මොකක්ද? ඔවුන් සිදු කලේ ඔවුන්ගේ තරුණ පරපුර දැනුමෙන් සන්නද්ධ කොට දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් ස්ථාපිත කිරීමයි. ඔවුන්ගේ දියුණුවේ රහස එයයි.

ඩිප්ලෝමාධාරින්ගේ පර්යේෂණ නිබන්ධන ගැනත් මෙතන කියවුනා. මම ශ්‍රී ලංකා වරාය අධිකාරියට කියන්න කැමති ඒ නිබන්ධන ප්‍රකාශයට පත් කරලා දේශිය හා විදේශිය විශ්ව විද්‍යාල,පර්යේෂණ ආයතන, වරායන් වලට යොමු කරන්න කියලා. මේ ඩිප්ලෝමාවේ වටිනාකම ලෝකයට විවෘත වන්නේ එවිටයි. එවාගේ තිබෙන නව යෝජනා හා සංකල්ප අපට වරායේ සිස්ටම් චේන්ජ් එකටත් ඇතුල් කරන්න පුලුවන්.

ඔබ මේ ලබාගත් ඩිප්ලෝමාව ගැන මම ඉතාමත්ම සතුටු වෙනවා. රැකියාව කරන අතර තුර රැකියාවේ හා ආයතනයේ අභිවෘද්ධිය සඳහා කාලය කළමනාකරණය කර ගනිමින් ඔබ කල කැප කිරීම මම ඉතාම අගය කරනවා” යනුවෙන් ප්‍රකාශ කලේය.

මෙම අවස්ථාවට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේඛම් කේ.ඩී.එස්.රුවන් චන්ද්‍ර, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උප සභාපති ගයාන් අල්ගේවත්තගේ, කළමනාකාර අධ්‍යක්‍ෂ උපුල් ජයතිස්ස, මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යාතනයේ ප්‍රධාන පුහුණු කළමනාකරු එස්.එච්.පත්මිණි යන මහත්ම මහත්මීහුද කැළණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය තරිදු ඩි. වික්‍රමසිංහ මහතාද, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අතිරේක කළමනාකාර අධ්‍යක්‍ෂ සුසන්ත අබේසිරිවර්ධන මහතාද,අධ්‍යක්‍ෂවරුන්,කොට්ඨාශ ප්‍රධානීන්,විධායක නිලධාරීන්, සේවක මහත්ම මහත්මීන්, ඔවුන්ගේ පවුල් වල සමාජිකයින් හා වෘත්තීය සමිති නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.

Leave a Reply

*

eleven − one =