ශ්‍රී ලංකා වරාය අධිකාරිය අසත්‍ය ප්‍රකාශ ප්‍රතික්ෂේප කරයි.

කොළඹ වරායේ භාවිතය සදහා පාපැදි යොදාගැනීම කොළඹ වරාය හරිත වරායක් බවට පත් කිරීමේ අරමුණු සාක්ෂාත් කර ගැනීමේ එක් පියවරක් පමණි.

ලංකා නැව් නියෝජිතයින්ගේ සංගමය (CASA) විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරියට කොළඹ වරායේ භාවිතය සඳහා පාපැදි 100ක් පරිත්‍යාග කිරීම පිළිබඳව Agence France-Presse (AFP) විසින් අසත්‍ය පුවතක් පළ කර තිබීම කණගාටුවට කරුණකි. “ඉන්ධන හිඟයෙන් පසු ශ්‍රී ලංකා වරාය පෙඩල් බලයට මාරු වෙයි”(Sri Lanka port switches to pedal power after fuel shortages”)  යන මාතෘකාව යටතේ මෙවැනි අසත්‍ය පුවතක් වාර්තා කිරීම ලොව ප්‍රමුඛතම ප්‍රවෘත්ති ඒජන්සියක විශ්වසනීයත්වයට හානි කරනවා පමණක් නොව, ඕනෑම තත්වයක් යටතේ බාධාවකින් තොරව ගෝලීය සැපයුම් දාමය පවත්වාගෙන යාමේ නොසැලෙන පුරෝගාමියෙකු ලෙස කටයුතුකරන අපගේ ආයතනයේ කීර්ති නාමයටද කැළලක් ඇති කරයි.

අපගේ නිල වෙබ් අඩවියේ සහ සමාජ මාධ්‍ය ගිණුම්වල මෙම පරිත්‍යාගය පිළිබඳ නිල ප්‍රකාශය නිකුත් කළෙමු. නමුත්, ඉන්ධන හිඟය හේතුවෙන් CASA ආයතනය විසින් එම පාපැදි 100 වරායට පරිත්‍යාග නොකළ බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය නැවත වරක් අවධාරණය කරනු කැමැත්තෙමු. මෙහෙයුම් සහ සේවා සඳහා ප්‍රමාණවත් ඉන්ධන සැපයීම ශ්‍රී ලංකා වරාය අධිකාරිය අඛණ්ඩව සිදු කරයි. එමෙන්ම සියලුම සේවකයන්ට බාධාවකින් තොරව සේවයට වාර්තා කිරීම සඳහා විශේෂ ඉන්ධන පහසුකම් මෙන්ම ප්‍රවාහන සේවා සැපයීම පවා අඛණ්ඩව සිදු කරයි.

මෙලෙස කොළඹ වරායේ භාවිතය සදහා පාපැදි යොදාගැනීම කොළඹ වරාය හරිත වරායක් බවට පත් කිරීමේ අරමුණු සාක්ෂාත් කර ගැනීමේ එක් පියවරක් පමණි. එසේම බලශක්ති සංක්‍රාන්තිය සඳහා විභව කාබන්හරණ කේන්ද්‍රස්ථානයක් ලෙස වරායන්ට සේවය කළ හැකි බව සිහි ගැන්වීමකි. වරාය සේවකයන්ට සහ වරාය භාවිතා කරන්නන්ට මෙම පාපැදි භාවිත කිරීමට නව පාපැදි මංතීරුවක් පවා ඉදිවෙමින් පවතී. පිළිගත් ගෝලීය ප්‍රවෘත්ති ඒජන්සියක් ලෙස, AFP ඔවුන්ගේ පෙර ප්‍රවෘත්ති සඳහා ලබා දී ඇති ප්‍රමුඛතාවයට අනුකූලවම මෙම පැහැදිලි කිරීමද ප්‍රකාශයට පත් කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

පරිවර්තනය – ෂකිලා එච්. අතුකෝරල

Leave a Reply

*

11 − 9 =