ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ අනෙකුත් පර්යන්තයන්හි කැපවීම CASA හි පැසසුමට

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න මහතා වෙත ලිපියක් යවමින් ලංකා නැව් නියෝජිත සංගමය (CASA) ශ්‍රී ලංකා වරාය අධිකාරියට සහ අනෙකුත් පර්යන්ත ක්‍රියාකරුවන් හට කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු හා සේවාවන් සුපුරුදු පරිදි පවත්වා ගැනීම වෙනුවෙන් සිදුකළ කාර්යභාරය පිළිබඳව ප්‍රශංසා කර ඇත.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති, හාබර් මාස්ටර් ඇතුළු සියලු උසස් නිලධාරීන් සහ වරාය වෘත්තීය සමිති නායකයින්ගේ සහයෝගය මෙන්ම SAGT හා CICT පර්යන්තයන්හි ප්‍රධාන විධායක නිලධාරීන් විසින් ගන්නා ලද ක්‍ෂණික පියවර අයහපත් ප්‍රතිවිපාක වළක්වා ගැනීමට පිටිවහලක් වූ බව CASA ආයතනය විසින් එවන ලද ලිපියේ සඳහන් වේ.

කොළඹ වරායේ මෙහෙයුම් සම්බන්ධයෙන් ඇතැම් ජනමාධ්‍ය පදනම් විරහිත චෝදනා එල්ල කළද, එම ලිපිය මගින් වරායේ මෙහෙයුම් ක්‍රියාකාරීත්වය සාමාන්‍ය පරිදි සිදුකරණ බව අවධාරණය කර ඇත. මේ වන විට සියලුම නෞකාවන් පෙර පරිදිම නැංගුරම්ලා මෙහෙයුම් කටයුතු සිදුකිරීම, ආපසු යාත්‍රා කිරීම සහ අන්තර් පර්යන්ත ප්‍රතිනැව්ගත කිරීම් යථා පරිදි සිදුවන බව එහි වැඩිදුරටත් සඳහන් වේ. 

කොළඹ වරායේ මෙහෙයුම් හා සේවා කටයුතු සිදු කරන සාමාජික නැව් නියෝජිතයන් විසින් අපේක්ෂා කරන කාර්යක්‍ෂමතාවය හා ඵලදායිතාවය පිළිබඳව සහතික වන CASA ආයතනය කලාපීය ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස කොළඹ වරාය සිදුකරන තීරණාත්මක කාර්යභාරය ස්ථායිව පවත්වාගෙන යාම සඳහා තම පූර්ණ දායකත්වය ලබා දෙන බව එම ලිපියෙන් අවධාරණය කර ඇත.

Leave a Reply

*

13 + six =