හදිසි තත්වය පරික්ෂා කිරීම සඳහා ගරු වරාය සහ නාවික අමාත්‍යය රෝහිත අබේගුණවර්ධන මහතා අද අලුයම දෙකට පමණ කොළඹ වරායට පැමිණියේය.
ඉන්දියාවේ සිට සිංගපූරුව බලා යාත්‍රා කරමින් තිබු එම්.වී. එක්ස්-ප්‍රෙස් පර්ල් නමැති බහලු නෞකාව කොළඹ වරායේ නැංගුරම් ලෑම සඳහා පිටත වරායට සේන්දු වෙමින් සිටි අවස්ථාවේ ඇති වූ හදිසි ගින්න පාලනය කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අද අලුයම සමත්විය. කෙසේ වෙතත්, අදාළ ගින්න හටගැනීමට හේතු වූ බහලුවේ උෂ්ණත්වය පරික්ෂා කිරීම ඇතුළු නෞකාවේ සියලුම කටයුතු ගැන තවදුරත් පරික්ෂා කිරීම මේවන සිදුවේ. එහි තත්වය සමාන්‍යය අතට පත්වීමෙන් පසු නෞකාවට යාත්‍රා කිරීමට හැකිවනු ඇත.
හදිසි තත්වය පරික්ෂා කිරීම සඳහා ගරු වරාය සහ නාවික අමාත්‍යය රෝහිත අබේගුණවර්ධන මහතා අද අලුයම දෙකට පමණ කොළඹ වරායට පැමිණියේය. එහිදී අමාත්‍යතුමා මෙසේ තම අදහස් දැක්වීය.
“බහලු දෙදහස් පන්සීයකට ආසන්න ධාරිතාවක් සහිත එක්ස්-ප්‍රෙස් පර්ල් නමැති නෞකාව ඊයේ රාත්‍රී 12 පමණ වන විට කොළඹ වරායට ළඟා වීමට නියමිතව තිබුණු නෞකාවක්. ඊයේ දහවල් වන විට එම නැවෙන් දුමක් නගිනවා කියලා, එම නෞකාවේ කාර්යය මණ්ඩලයෙන් අපේ හාබර් මාස්ටර් වෙත පණිවිඩයක් ලැබිලා තිබුණා. ඒ මොහොතේ සිටම හාබර් මාස්ටර් එම නෞකාව සමග දිගටම සම්බන්ධතාවය පවත්වාගෙන යන ගමන් අවශ්‍යය කටයුතු සූදානම් කොට තිබෙනවා. රාත්‍රී 11.30 පමණ වන විට නැවෙන් ගින්නක් හටගෙන තිබෙනවා. එසැනින් අපේ ටග්යාත්‍රා එම ස්ථානයට පිටත්ව ගොස් තිබෙනවා. මම මේ කතා කරන මොහොත වන විට වෙලාව පාන්දර 2.30 යි. අපේ පිරිස් මේ වන විට එම ගින්න පාලනය කරලා තිබෙනවා. නමුත් හදිසි අවස්ථාවක් වුවහොත් ක්‍රියාත්මක වීම සඳහා ටග් යාත්‍රා එම ස්ථානයේම ස්ථාන ගත කරලා තියෙනවා.”
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යතුමා, “මේ නෞකාව තිබෙන්නේ කොළඹ වරායේ සිට නාවික සැතපුම් කිහිපයක් ඈතින්. ගිනිගත් නෞකාව ආසන්නයේ නැංගුරම් ලා තිබු අනෙකුත් නෞකා සියල්ලම ආරක්ෂාව සඳහා ඒ අසලින් ඉවත් කොට තිබෙනවා. අපේ වරායට නැවක් එනවිට මෙවැනි හදිසි අනතුරකදී අවශ්‍යය වන සේවා සැපයීමට අපි නිරතුරුවම සූදානම් වී සිටිනවා. අවශ්‍යය වුවහොත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහයෝගය ලබාගැනීම සඳහා කටයුතු කරනවා,” යැයි සඳහන් කළේය
එසේම එහිදී හාබර් මාස්ටර් නිර්මාල් සිල්වා මහතාද අදාළ සිදුවීම ගැන අදහස් ඉදිරිපත් කළේය.
“එක්ස්-ප්‍රෙස් පර්ල් නමැති නෞකාවේ රසායන ද්‍රව්‍යය සහිත බහලුමක කාන්දුවක් සිදුවී ඇතිබව අපට දැනුම්දීමක් සිදුකළා. අපි ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වනවිට ඉන් දුමක් නගිනවා කියලා පණිවිඩයක් ලැබුණා. අපේ ගිනිනිවන අංශය එම ස්ථානයට ගොස් අවශ්‍යය තොරතුරු ලබාගත්තා. පසුව, රාත්‍රී 11.30 ට පමණ එහි ගින්නක් හටගත් බවට තොරතුරු වාර්තා වූ සැනින් එම ස්ථානයට ටග් යාත්‍රා යොමු කළා. මේ වනවිට එම ගින්න අපි පාලනය කොට තිබෙනවා,” හාබර් මාස්ටර් නිර්මාල් සිල්වා මහතා ප්‍රකාශ කළේය.
වැඩිදුර තොරතුරු සඳහා පහත වීඩියෝව නරඹන්න;
සිංගප්පූරුවේ ධජය යටතේ ලියාපදිංචි කර ඇති මෙම නෞකාව 2021 මැයි 15 වන දින ඉන්දියාවේ හසිරා වරායෙන් නයිට්‍රික් අම්ලය, තවත් රසායනික ද්‍රව්‍ය හා ආලේපන ටොන් 25 ක් සහිත බහාලුම් 1486 ක් රැගෙන ගොස් ඇත. නෞකාව කොළඹ වරායේ සිට නාවිඋක සැතපුම් 9.5 ක් පමණ දුරින් නැංගුරම් ලා සිටියදී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන්නේය. පීඩාවට පත් බහාලුම් නෞකාව පිලිපීන, චීන, ඉන්දියානු සහ රුසියානු ජාතිකයන් වන 25 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් විසින් මෙහෙයවනු ලබයි.








