ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක පසුගිය තුන්වැනිදා උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේදී කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවූ අතර එහිදී, කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන කාර්ය සාධක බලකායේ කාර්යභාරය පැසසුමට ලක් කරමින් වරාය අධිකාරියේ කටයුතු හා මෙහෙයුම් තවත් විධිමත් ලෙස සැලසුම් කොට ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද කරුණු සාකච්ඡා කෙරිණි.
මෙහිදී, කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ඇතුළු කොවිඩ් – 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන කාර්යසාධක බලකායේ, ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ සහ සෞඛ්‍ය සේවකයින්ගේ කාර්යභාරය අගය කළ ජෙනරාල් දයා රත්නායක ශ්‍රී ලංකා වරාය අධිකාරිය තුළ කොවිඩ් – 19 වෛරසය පැතිරීම වළක්වාළමින් එහි කටයුතු පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් ලබාගත හැකි සහයෝගය පිළිබඳව ද සාකච්ඡා කළේය.
මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිතුමන් යුද්ධ හමුදා මුලස්ථානය වෙත පැමිණීම වෙනුවෙන් සිය කෘතඥතාවය පුදකළ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, කොවිඩ් – 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික කාර්යභාර්යට ඕනෑම අවස්ථාවක යුද්ධ හමුදාවේ සහයෝගය ලබාදෙන බවට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක වෙත පැවසීය.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමණාකාර අධ්‍යක්‍ෂ එස්. ප්‍රේමචන්ද්‍ර මහතා සහ අතිරේක කළමණාකාර අධ්‍යක්‍ෂ ( පාලන සහ මෙහෙයුම් ) උපුල් ජයතිස්ස මහතා ද එක්වූහ.

