ගුදම් පහසුකම් බහලූම් අංගන වරාය සැපයුම් පහසුකම් බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන ගරු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා සිය ධූරයේ වැඩ භාර ගනියි

ගුදම් පහසුකම් බහලූම් අංගන වරාය සැපයුම් පහසුකම් බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන ගරු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා 2020.08.21 දින සිය ධූරයේ වැඩ භාර ගැනීම සිදු කරන ලදි. බෞද්ධාගමික වතාවත් වලට මුල්තැන දෙමින්, වරාය හා නාවික නි. අමාත්‍යාංශ පරිශ‍්‍රයේ පැවති මෙම අවස්ථාවට එක් වූ වරාය හා නාවික ගරු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අදහස් දක්වමින්,

‘‘සිය අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍ය ධූරය සඳහා තේරී පත්වූ ජයන්ත සමරවීර මැතිතුමාට හදවතින්ම සිය සුභාශිංසන පිරිනමන බවත්, එකී ධූරය සඳහා තම දිස්ත‍්‍රික්කයේම ජවය සපිරි තරුණ නායකයෙකු පත්වීම පිළිබඳ තමා බෙහෙවින් සතුටට පත්වන බවත් පැවසීය.

තවද අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ක‍්‍රියාවට නැංවීමේදී සිය අමාත්‍යංශයේ කටයුතු ක‍්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය අමාත්‍ය ලෙසින් ජයන්ත සමරවීර මහතාගෙන් විශිෂ්ට සහායක් ලැබෙනු ඇතැයි තමා විශ්වාස කරන බවත් පැවසීය.

සිය ධූරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව අදහස් දැක්වූ වරාය හා නාවික රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා,

වරාය හා නාවික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ධූරය තමාවෙත පිරිනැමීම පිළිබඳ ප‍්‍රථමයෙන්ම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාටත්, ගරු අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමාටත් ප‍්‍රථමයෙන්ම සිය කෘතඥතාව පිරිනමන බවත්, සිය රාජ්‍ය අමාත්‍ය ධූරය තුළින් ජනතාවගේ අභිලාශ සාක්‍ෂාත් කිරීමටත්, වරාය හා සමුද්‍රිය ක්‍ෂේත‍්‍රය නංවාලීමටත් සිය උපරිමයෙන්ම කැපවෙන බවත් පැවසීය.

තවද, සිය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා හා එක්ව වරාය හා නාවික ක්‍ෂේත‍්‍රය මුල්කොටගත් නව සැළසුම් ක‍්‍රියාත්මක කිරීමට සිය උපරිම ශක්තිය හා දායකත්වය ලබාදෙන බවත් පැවසීය.

එමෙන්ම ප‍්‍රාදේශීය වරායයන්ගේ සංවර්ධනය, ශ‍්‍රී ලාංකේය ආනයන -අපනයන ක‍්‍රමවේද ශක්තිමත් කිරීම, නව බහලූ අංගන ඉදිකිරීම, ගුදම් ක්‍ෂේත‍්‍රය ප‍්‍රශස්ත මට්ටමක් කරා රැගෙන ඒම, වරාය හා රේගුව අතර නිසි කළමණාකරණයක් සිදු කිරීම ආදී ක‍්‍රියා මාර්ග රැසක් ඉදිරියේදී ක‍්‍රියාවට නැංවීමට අපේක්‍ෂා කරන බැව් පැවසීය.

බලශක්ති ගරු අමාත්‍ය උදය ගම්මන්පිල මැතිතුමා ඇතුළු දේශපාලන ක්‍ෂේත‍්‍රයේ සාමාජික මහත්ම මහත්මීන්, කළාකරුවන් ඇතුළු පිරිසක් අභිනව අමාත්‍යතුමා වෙත සිය සුභාශිංසන පිරිනැමීමට පැමිණ සිටි අතර,

ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරල් දයා රත්නායක, වරාය හා නාවික අමාත්‍යංශ ලේකම් යූ.ඞී.සී. ජයලාල්, අතිරේක ලේකම් කුමාරි සෝමරත්න, උපසභාපති/කළමණාකාර අධ්‍යක්‍ෂ ඩබ්.එස්. වීරමන්, අතිරේක කළමණාකාර අධ්‍යක්‍ෂ උපාලි ද සොයිසා ඇතුළු කළමණාකාරිත්වයේ උසස් නිළධාරින්, විධායක නිළධාරී මහත්ම මහත්මීන් වෘත්තිය සමිති නියෝජිතයන් හා වරාය සේවක මහත්ම මහත්මීන් රැසක් මෙම අවස්ථාවට එක් වුහ.

Leave a Reply

*

two × five =