කොළඹ වරාය ඇතුළු ලාංකේය වරායයන් වෙත පැමිණෙන සංචාරක මගී නෞකාවල කැපී පෙනෙන වර්ධනයක්

ශ්‍රී ලාංකීය සංචාරක කර්මාන්තයට විශිෂ්ඨ දායකත්වයක් ලබා දෙන කොළඹ වරාය ප්‍රමුඛ ශ්‍රී ලාංකීය වරායයන් වෙත පැමිණෙන සංචාරක මගී නෞකා වල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරයි. ආසියානු, අප්‍රිකානු සහ ඕෂනියානු මහද්වීප කේන්ද්‍ර කර ගනිමින් භූගෝලීය පිහිටීමේ සුවිශේෂී ශක්‍යතාව උපායමාර්ගික ලෙසින් භාවිත කරමින් ශ්‍රී ලාංකීය වරායයන් සංචාරක කර්මාන්තයේ සංවර්ධනයෙහි ලා විශිෂ්ඨ දායකත්වයක් ලබාදෙයි. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් 2017, 2018, 2019 වර්ෂයන් සංචාරක වසර ලෙසින් නම් කර ඇති අතර සංචාරක කර්මාන්තය නගාසිටුවීමට ද පියවර ගෙන තිබේ.

2018 වර්ෂයේ ගෙවුණු මාස 10 කාල පරිච්ඡේදය තුළ කොළඹ වරායට පැමිණි සංචාරක මගී නෞකා ප්‍රමාණය 45කි. අදාල කාල සීමාව තුළ පසුගිය වසරේ පැමිණි සංචාරක මගී නෞකා ප්‍රමාණය 35කි. එය ප්‍රතිශතයක් ලෙස 28.6% ක වර්ධනයකි. 2017 සමස්ත වර්ෂය තුළ ගාල්ල, ත්‍රී,මලය, හම්බන්තොට වරායයන් ද ඇතුළුව සමස්ත වරායයන් වෙත පැමිණි සංචාරක මගී නෞකා ප්‍රමාණය 58කි.

මේ වන විට සංචාරක කර්මාන්තය නගා සිටුවීමේ අරමුණෙන් ප්‍රශස්ත මට්ටමේ යටිතල පහසුකම් සපිරි නවීන අංගෝපංගයන්ගෙන් සමන්විත මගී පර්යන්තයක් කොළඹ වරායේ ඉදි කිරීමට සැලසුම් කර ඇති අතර එමගින් සංචාරක මගී නෞකාවන් සඳහා වැඩි පහසුකම් සැලසීමට අපේක‍ෂිතය.

2018 වර්ෂය අවසාන වන විට කොළඹ වරාය බහලූ මෙහෙයුම් ඉතිහාසයේ සුවිශේසී සංධිස්ථානයකට එළඹෙමින් සියලූ බහලූ පර්යන්තයන්ගේ ප්‍රසංයෝගී දායකත්වයෙන් බහලූ මෙහෙයුම් මිලියන 7 සීමාව ඉක්මවීමට ද අපේක‍ෂිතය.

2018 වසරේ පළමු මාස 10 තුළ කොළඹ වරායේ ප්‍රතිනැව්ගත බහලූ මෙහෙයුම් වල ද 19.5% ක වර්ධනයක් පෙන්නුම් කරයි. 2017 වර්ෂයේ අදාල කාල සීමව තුළ ප්‍රති නැව්ගත බහලූ 3,948,163 ( TEUs) මෙහෙයවා තිබූ අතර 2018 වර්ෂයේ පළමු මාස 10 තුළ ප්‍රතිනැව්ගත බහලූ 4,717,746 ( TEUs) මෙහෙයවා තිබේ. මේ වන විට කොළඹ වරාය ප්‍රවර්ධනය කිරීමේ අවබෝධතා ගිවිසුම යටතේ JCT, SAGT, CICT යන පර්යන්ත ත්‍රිත්වය සාමුහික කටයුතු කරනු ලබන අතර කොළඹ වරාය අන්තර්ජාතික වශයෙන් ප්‍රවර්ධනය කිරීම සඳහා සියලූම පර්ශවකරුවන් සහ සංවිධානයන් සමග නව නැව් සේවාවන් ආකර්ශනය කර ගැනීම සඳහා කටයුතු කරනු ලබයි.

මේ ලෙසින් ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තය ට අවශ්‍ය ප්‍රශස්ත යටිතල පහසුකම් සලසා දෙමින් සංචාරක මගී නෞකාවන් කොළඹ වරාය වෙත ආකර්ශනය කර ගනිමින් කොළඹ වරායේ මේ හා සුවිසල් ජයග්‍රහණයෙහි ලා වරාය හා නාවික කටයුතු ගරු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමාගේ විශිෂ්ඨ නායකත්වයත්, සකස්කොට ඇති තුන් අවුරුදු සැලැස්මත්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතාගේ නිසි මගපෙන්වීම හා කළමණාකාරිත්වයත් වරාය මෙහෙයුම් ක්‍රියාවලියට සම්බන්ධ සියලූම පාර්ශවයන්ගේ හා පාර්ශවකරුවන්ගේ යහපත් දායකත්වය හා සමස්ථ වරාය සේවක මහත්ම මහත්මීන් අතර පැවති සහසම්බන්ධතාවය ප්‍රශස්ත ලෙස වර්ධනය වී තිබීම තුළින් මෙවන් වර්ධනයන් ළගා වීමට හේතු වී තිබේ.

Alphaliner වර්තා වලට අනුව කොළඹ වරාය 2018 පළමු අර්ධය තුළ ලෝකයේ ප්‍රධාන බහලූ මෙහෙයුම් වරායයන් 30 අතර වර්ධන වේගය පළමු ස්ථානයට පත් වීම ද සුවිශේෂීතය. Drewry වරාය සම්බන්ධතා දර්ශකය අනුව කොළඹ වරාය ආසියාවේ විශ්ෂ්ඨතම සම්බන්ධිත වරාය බවට ද පත්ව ඇත.

එමෙන්ම කොළඹ වරාය ලෝකයේ සමුද්‍රික සිතියම තුළ ස්වකීය ස්ථානය කරා යමින් ග්ලෝබල් පෝර්ට් ෆෝරම් ( GPF) “2018 වසරේ වරාය අධිකාරිය” සම්මානය දිනා ගැනීම ද සමත් විය.



ඡායාරූප – ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තය ට වසන්තය ගෙන ඒන සුපිරි මගී නෞකා මගී පර්යන්තයේ නැංගුරම් ලා ඇති අයුරු

Leave a Reply

*

four × 5 =