කොවිඩ් 19 අසාදිතයෙක් වරායෙන් හමුවීමේ ඇත්ත නැත්ත

පසුගිය දින කිහිපය පුරා ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍යය ජාල මාධ්‍යය තුළ සංසරණය වූ ඉහත ප්‍රවෘත්තිය පිළිබඳව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අවධානය යොමුව ඇත.

ඒ අනුව අදාළ සිදුවීමේ සත්‍ය අසත්‍යය භාවය පිළිබඳව විමසීමේදී අදාළ කරුණු වාර්තා වන්නේ මෙලෙසය.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ආරක්ෂක කොට්ඨාශයේ පූර්ණ මැදිහත් වීමෙන් හා නාවික හමුදාවේ අධීක්ෂණයෙන් මෙම පුවතට පාදක වූ පුද්ගලයා පිළිබඳව සියලු විපරම් කාර්යයන් සිදු කොට ඇත. ඒ අනුව අදාළ පුවතට මුල් වූ පුද්ගලයා කොළඹ වරාය පරිශ්‍රයට ඇතුළුවීමට අවශ්‍යය මාසික වරාය අවසර බලපත්‍රයක් හිමි වාප්පු මෙහෙයුම් විධායක වරයෙකි.

ඔහු කොළඹ වරායේ බණ්ඩාරනායක පර්යන්තය ( BQ ) වෙත භාණ්ඩ නිෂ්කාශනය සඳහා පසුගිය දිනවලදී පැමිණ ඇත.

ඔහු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන අතර දීර්ඝ කාලයක සිට වාප්පු මෙහෙයුම් විධායක වරයෙකු ලෙස කටයුතු කරන අයෙකු බව තහවුරු වී ඇත. මොහු පිළිබඳව අනෙකුත් වාප්පු ලිපිකරු මහතුන්ද හොඳින් දනිති. එසේම හෙතම පසුගියදා මහත් ආන්දෝලනයක් ඇතිකළ කොරෝනා වෛරසය ආසාදයනය වී කොළඹ ද සොයිසා මාතෘ රෝහලට ඇතුලත් වූ කාන්තාවගේ ඥාති සහෝදරයෙකු බව අනාවරණය වී ඇත.

මෙම තත්වය අනාවරණය වීමත් සමග වහා ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ආරක්ෂක කොට්ඨාශයේ විෂබීජ හරණ ඒකකයත් , ශ්‍රී ලංකා නාවික හමුදාවේ කොවිඩ් 19 නිවාරණ ඒකකයත්, එක්ව මෙම පුද්ගලයා ගැවසී ඇති බවට අනාවරණය වූ සියලුම ස්ථාන විෂබීජානුහරණයට ලක් කරන ලදී. එමෙන්ම එම පුද්ගලයා හා සමඟින් ගැවසී ඇති පුද්ගලයින් සියලුම දෙනා මූලික වෛද්‍යය පරීක්ෂණ වලට ලක් කරන ලදී. එහිදී අදාළ පුද්ගලයින් කිසිවෙකු හට කොවිඩ් 19 මූලික රෝග ලක්ෂණ නොමැති බව තහවුරු වී ඇත.

තම ඥාති සහෝදරියට කොවිඩ් 19 රෝගය අසාදනය වීම හේතුවෙන් මෙම පුද්ගලයාද නිරෝධායනයට ලක් කිරීමට වැල්ලම්පිටිය මහජන සෞඛ්‍යය පරීක්ෂකවරයා කටයුතු කරන ලදී. එසේම, ශ්‍රී ලංකා වරයා අධිකාරියේ ඉල්ලීම මත මෙම පුද්ගලයා PCR පරීක්ෂණයකට යොමු කළ අතර එහි ප්‍රතිඵල වහාම ලබා ගැනීමට කටයුතු කරන ලදී. ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක ජෙනරාල්වරයාගේ නිගමනය වන්නේ අදාළ පුද්ගලයා කොවිඩ් 19 අසාධිතයෙකු නොවන බවයි.

එම නිර්දේශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සෑහීමකට පත්වන අතර දැනට ආයතනය තුළ කොවිඩ් 19 නිවාරණය වෙනුවෙන් සෞඛ්‍ය සේවා අමාත්‍යංශය විසින් නිර්දේශ කරන ලද සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේදයන් අඛණ්ඩව ක්‍රියාත්මක වේ. ඒ සම්බන්ධයෙන් පිහිටුවා ඇති මෙහෙයුම් මධ්‍යස්ථානයද අඛණ්ඩව සියලු සම්බන්ධීකරණ කටයුතු සිදුකරමින් අවශ්‍යය ක්‍රියාමාර්ග යාවත්කාලීන කරනු ලබයි.

එබැවින් වරාය පරිශ්‍රයේ සියලු මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පවත්වා ගැනීම වෙනුවෙන් අතවශ්‍යය රාජකාරි සඳහා වාර්තා කරන සේවක මහත්ම මහත්මීන්ද වරාය පරිහරණය කරන්නන්ද පවත්නා තත්වය සම්බන්ධයෙන් කිසිඳු බියක් ඇති නොකරගත යුතු බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය අවධාරණය කර සිටි.

( සටහන : කාව්‍යය ඉන්ද්‍රජිත්)

Leave a Reply

*

three × one =