ශ්‍රී ලංකා වරාය අධිකාරිය 2022 වසර සඳහා වැඩ අරඹයි.

උදා වූ 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය අද දින(2022.01.03) උදෑසන සිට රාජකාරී ආරම්භ කරන ලදී. වරාය හා නාවික ගරු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මැතිතුමන් හා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කපිතාන් නිහාල් කැප්පෙටිපොළ මහතාගේ ප්‍රධානත්වයෙන් සර්ව ආගමික වතාවත් සඳහා ප්‍රමුඛතාව දෙමින් වරාය සම්බුද්ධත්ව ජයන්ති චෛත්‍ය පරිශ්‍රයේ දී සිදුකරන ලදී.

මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ වරාය හා නාවික ගරු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ, පසුගිය වසර විශාල අභියෝගාත්මක වසරක් වූ බවත්, ලෝකයේ වෙනත් රටවල් පිළිබඳව අවධානය යොමු කරමින්, ඒවායේ ක්‍රියාත්මක ක්‍රමවේද අත්හදා බලමින් නැවත අවදිවන රටක් බවට ශ්‍රී ලංකාව පත්කර ගැනීමට කටයුතු කළ යුතු බැව් ප්‍රකාශ කළේ ය.

වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා අතිගරු ජනාධිපතිතුමන්ගේ හා ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ නායකත්වයෙන් ක්‍රියාත්මක සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස ඉටු කිරීමේ ක්‍රියාදාමය යටතේ ඉදිකළ නැගෙනහිර පර්යන්තය ECT) අදියර II ව්‍යාපෘතියේ එළඹෙන 12 වැනි දින සුභ මොහොතින් ආරම්භ කිරීමට නියමිත බවත්, ඊට සමගාමීව බටහිර බහලු පර්යන්තය (WCT) ඉදිකිරීමේ ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කිරීමට සැලසුම් සකස්කර අවසන් බැව් පැවසීය.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති නිහාල් කැප්පෙටිපොල මහතා උත්සව සභාව  අමතමින්

මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කපිතාන් නිහාල් කැප්පෙටිපොළ මහතා ප්‍රකාශ කළේ 2022 වසර වෙළඳ හා නාවික ක්‍ෂේත්‍රයටත්, රටටත් සමස්ථ ලෝකවාසීන්ටත් මගහැරුණු බොහෝ බලාපොරොත්තු සපුරාගතයුතු වර්ෂයක් ලෙස හැඳින්විය හැකි බවයි. තවද, ගෝලීය වසංගත තත්ත්වයන් හමුවේ ජාතික ආර්ථිකයේ හදවත බඳු වරාය කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි වූ බවත්, එහි මෙහෙයුම් හා සේවා කාර්්‍යක්‍ෂම හා ඵලදායි ලෙස ඉටුකරමින්, දේශීය හා ජාත්‍යන්තර ගණුදෙනුකරුවන්ගේ හා සේවාලාභීන්ගේ විශ්වාසය ආරක්ෂා කළ වරාය අධිකාරියේ සියලු සේවක මහත්ම මහත්මීන්ගේ කැපවීම බෙහෙවින් අගය කරන බවත් පැවසීය.

වැඩිදුටත් අදහස් දැක්වූ කපිතාන් නිහාල් කැප්පෙටිපොළ මහතා 2022 වර්ෂය සැලකීමේ දී ඉලක්ක පිළිබඳ අවධාරණය කළේ ය. ඒ අතර කොළඹ වරායෙහි මෙහෙයුම් ධාරිතාව පුළුල්කර ගැනීම සඳහා අවශ්‍ය සියලු කටයුතු කඩිනමින් ඇරඹීමට නියමිත බවත් සියලු කාර්යයන් ඉතා සාර්ථකව සඵල කර ගැනීම සඳහා දායකත්වය ලබා දෙන අතිගරු ජනාධිපතිතුමා, ගරු අගමැතිතුමා, ගරු වරාය හා නාවික අමාත්‍යතුමා, ගරු රාජ්‍ය ඇමතිතුමා, අමාත්‍යාංශ ලේකම්තුමන්ලා ඇතුළු අමාත්‍ය කාර්යමණ්ඩලය, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සමස්ථ සේවක මණ්ඩලය සහ සියලු වෘත්තීය සමිති සම්බන්ධයෙන් මෙම අවස්ථාවේ කෘතවේදීව සිහිපත් කරන බවත් පැවසීය.

මෙම අවස්ථාවට වරාය හා නාවික අමාත්‍යාංශ ලේකම් යූ.ඩී.සී. ජයලාල්, රාජ්‍ය අමාත්‍යංශ ලේකම් ඩී.ඩී. මාතරආරච්චි, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උප සභාපති ආචාර්ය ප්‍රසාන්ත ජයමාන්න, කළමණාකාර අධ්‍යක්‍ෂ උපුල් ජයතිස්ස, අතිරේක කළමණාකාර අධ්‍යක්‍ෂ සුසන්ත අබේසිරිවර්ධන මහතා ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජික මහත්ම මහත්මීන්, වරාය අධිකාරියේ කොට්ඨාශ ප්‍රධානීන්, විධායක නිලධාරී මහත්ම මහත්මීන්, වරාය සේවක මහත්ම මහත්මීන් හා වෘත්තීය සමිති නියෝජිතයන් ද සහභාගී විය.

  Share:

Leave a Reply

*

eight + three =