ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 42 වන සංවත්සරය අභිමානවත්ව සැමරේ

ශ්‍රී ලංකා වරාය අධිකාරිය පිහිටුවා 2021 අගෝස්තු 01 වන දිනට වසර 42ක් පිරීම නිමිත්තෙන් වූ සංවත්සර සැමරුම අද දින (2021 අගෝස්තු 02) පැවැත්විණි.වරාය හා නාවික කටයුතු ගරු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා හා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කපිතාන් නිහාල් කැප්පෙටිපොල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සංවත්සර උත්සවය පැවැත්විණි. වරාය සම්බුද්ධත්ව ජයන්ති පරිශ්‍රයේ දී බෞද්ධාගමික කටයුතු වලට ප්‍රමුඛතාව දී ප්‍රධාන උත්සවය පැවැත්වූ අතර, හින්දු හා ඉස්ලාම් ආගමික කටයුතු ද ඊට සමගාමීව පැවැත්විණි.

උත්සවය ඇමතු වරාය හා නාවික කටයුතු ගරු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ, 42 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේ දී ආයතනයේ අතීතය, අනාගතය, වර්තමාන ක්‍රියාකාරීත්වය පිළිබඳව මනා වැටහීමකින් යුතුව සියලු සැළසුම් සකස් කරගත යුතු බවයි.
එමෙන් ම, අද දින පටන් රජය ප්‍රකාශයට පත් කරන ලද කොවිඩ් 19ට අදාල චක්‍ර ලේඛය අනුව සියලු රාජ්‍ය සේවකයින් සේවයට වාර්තා කල යුතුය. ශ්‍රී ලංකා වරාය අධිකාරිය ද වසංගතය ආරම්භ වූ අවස්ථාවේ දී මෙන්ම අඛණ්ඩව ඉදිරියටත් සිය මෙහෙයුම් පවත්වා ගෙන යාම ජාතික අවශ්‍යතාවක් ලෙස හඳුන්වා දෙන ලදී.

එලෙස කටයුතු කිරීම තුළින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉදිරි සැළසුම් මෙන්ම, නැගෙනහිර පර්යන්තය, බටහිර පර්යන්තය වැනි ව්‍යාපෘති කඩිනමින් ඉටුකර ගැනීමට සුදුසු වටපිටාවක් නිර්මාණය වනු ඇති බව ද සඳහන් කළේ ය.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කපිතාන් නිහාල් කැප්පෙටිපොල මහතා අදහස් දක්වමින්

මෙම අවස්ථාවේ සිය අදහස් දක්වමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කපිතාන් නිහාල් කැප්පෙටිපොල මහතා සඳහන් කර සිටියේ,පවත්නා වසංගත තත්ත්වය අපට අභියෝගයක් වුව ද, තමා සැමදා විශ්වාස කරන ආකාරයට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මානව සම්පත සතු ශක්තිය හේතුවෙන් සියලු අභියෝග ජයගත හැකි බවට මෙම 42 වන සංවත්සර අවස්ථාවේ තමා විශ්වාසය පල කරන බවයි.

එමෙන්ම, වරාය අධිකාරියේ භෞතික සම්පත් සංවර්ධනයට අවශ්‍ය සෑම පියවරක්ම ගැනීමට ද සේවක මහත්ම මහත්මීන් මුහුණ දී සිටින, උසස්වීම්, වැටුප් විෂමතා, ස්ථාන මාරු වැනි ගැටලු සඳහා ද කඩිනමින් විසඳුම් ලබා දීමට ද තමා කටයුතු කරන බවයි. තවද, විශේෂයෙන්ම කලාපීය රටවල සහාය සහ ක්‍රමෝපායික අන්තර් අවබෝධය තුළින් කොළඹ වරාය කටයුතු පුළුල් කිරීමට ත්, එහි බහලු මෙහෙයුම් ධාරිතා වැඩි කිරීමට ත් අවශ්‍ය කටයුතු වෙනුවෙන් සුදුසු පියවර ගැනීමට ද බලාපොරොත්තු වන බව පැවසී ය.

වරාය හා නාවික ගරු අමාත්‍යතුමාගේ, රාජ්‍ය අමාත්‍යතුමාගේ අමාත්‍යාංශයේත් සහාය ලබා ගනිමින් ECT පර්යන්තය ඇතුළු සංවර්ධන කටයුතු කඩිනම් කරන බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට වරාය හා නාවික අමාත්‍යාංශයේ ලේකම් යූ.ඩී.සී. ජයලාල්, ගුදම් පහසුකම්, බහලුම් අංගන වරාය සැපයුම් පහසුකම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඩී.ඩී. මාතරආරච්චි, අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන හා මුදල්) එච්.එම්.එල්.එස්.හේරත්, අතිරේක ලේකම් (සංවර්ධන) කේ.එන්.කුමාරි සෝමරත්න යන මහත්ම මහත්මීන් ද, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උප සභාපති ප්‍රසාන්ත ජයමාන්න, කළමණාකාර අධ්‍යක්‍ෂ උපුල් ජයතිස්ස, අතිරේක කළමණාකාර අධ්‍යක්‍ෂ සුසන්ත අබේසිරිවර්ධන ඇතුලු අධ්‍යක්‍ෂකවරුන්, කොට්ඨාශ ප්‍රධානීන්, අංශ ප්‍රධානීන්, විධායක නිලධාරීන්,  වෘත්තීය සමිති නියෝජිත මහත්ම මහත්මීන් හා සේවක මහත්ම මහත්මීන් පිරිසක් සහභාගී විය.

Leave a Reply

*

5 × 5 =