“සෑම ආයතනයකම සාර්ථකත්වය උදෙසා දූරදර්ශී නායකත්වයක් අවශ්‍යයි” – ජෙනරාල් දයා රත්නායක

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතාගේ සම්පත් දායකත්වයෙන් හා මෙහෙයවීමෙන් Master Mariners of Sri Lanka ආයතනයේ සංවිධානයෙන්, නාවික ක්‍ෂේත්‍රයේ ප්‍රවීනයන් හට නායකත්වය පිළිබඳ විශේෂ දේශනයක් ඉකුත් දා වරාය මහපොල සමුද්‍රීය විද්‍යායතන පරිශ්‍රයේ දී පැවැත්විණි. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා හිටපු හමුදාපති ලෙසින් කටයුතු කළ සමයේ සිය ප්‍රායෝගික අත්දැකීම් ද පදනම් කර ගනිමින්, මෙම දේශනය සිදු කරන ලදී. 

එහිදී අදහස් දැක්වූ ජෙනරාල් දයා රත්නායක මහතා නායකයකු වීම සඳහා අභියෝග භාර ගැනීමට නොබියව කටයුතු කළයුතු බවත්, අභියෝග සාර්ථකත්වයෙහිලා ඕනෑම දුෂ්කර ක්‍රියාමාර්ගයකින් කටයුතු කර, අභීතව සාර්ථකත්වය කරා යෑමට කටයුතු කළ යුතු බවත් පැවසීය. තවද, සෑම ආයතනයක්ම පවත්වා ගෙන යාමට දූරදර්ශී  නායකත්වයක් වෙසෙසින් ම වැදගත් වන බවත් පැවසී ය. ඒ සඳහා නිවැරදි තීන්දු තීරණ ගැනීම රටේත් මහජනතාවගේත් සුභ සිද්ධිය උදෙසා ඉතා වැදගත් වන බැව් අවධාරණය කළේ ය.  

එමෙන් ම, මෙරටේ වසර දහස් ගණනාවක් තිස්සේ පැවැති ස්වයංපෝෂිත ආර්ථීක රටාවන් බිඳ වැටීමෙහිලා මෙරට ස්වදේශීය නායකත්වයට එල්ල වූ විදේශීය බලපෑම් මෙරටට සංස්කෘතියට ප්‍රබල බලපෑම් සිදු කළ බැව් පවසීය. එලෙස යටත් විජිත කොළොනීයකරණය ට හසු වූ ශ්‍රී ලාංකේය දිවි පෙවෙත තුළ නිදහස දිනා වසර 73 ක් ගත  වී තිබුණ ද, අප තවමත් විදේශයන් ට ගැති ව කටයුතු කරන තත්ත්වයක සිටින බැව් අවධාරණය කළේ ය. විශේෂයෙන් ම බුදුදහම තුළින් අප ලත් විනය හා ශික්ෂණය නැවතත් සමාජ ස්ථර තුළ ස්ථාපනය කිරීමට කටයුතු කළ යුතු බවත්, අනාදිමත් කාලයක සිට සංස්කෘතිකමය, ආගමික, සදාචාරාත්මක අංශයන් ඔස්සේ අප ලත් දායාදයන් හා වටිනාකම් මතු පරම්පරාව වෙත සම්ප්‍රේෂණය කිරීමේ වැදගත්කම ද ජෙනරාල් දයා රත්නායක මහතා විසින් අවධාරණය කරන ලදී. 

සිය දේශනය තුළින් නායකත්ව කුසලතා අභිප්‍රේරණය කිරීම, නිවැරදි ආදර්ශක තුළින් නිවැරදි දැක්මක් ඇතිකර ගැනීම, සාර්ථකත්වයෙන් අභියෝග කරා යොමු වීම, චිත්ත ශක්තිය වර්ධනය කිරීම ආදී කරුණු තුළින් නාවිකයන් සතු නායකත්ව කුසලතා කෙලෙස වර්ධනය කර ගත යුතු ද යන්න පිළිබඳව ගැඹුරින් සාකච්ඡාවට භාජනය කරන ලදී. 

CMM ආයතනය 1990 වසරේ සමුද්‍රීය ක්‍ෂේත්‍රයේ වෙළඳ නාවික කපිතාන්වරුන් අතලොස්සකගෙන් ආරම්භ කරන ලද්දකි. සමුද්‍රීය කර්මාන්තයේ දියුණුව උදෙසා ස්ථාපිත ආයතනයක් බවට පත්වීමේ පරමාර්ථ ඇතිව සියලුම ශ්‍රී ලාංකේ ය වෙළඳ නාවික කපිතාන්වරුන් සම්බන්ධීකරණ ඒකකයකට ඇතුළත් කර ගනිමින්, ආරම්භ කරන ලද මෙම CMM ආයතනය මේ වන විට සමුද්‍රිය කර්මාන්තයේ ප්‍රශස්ත පිළිගැනීමට පාත්‍ර ව තිබේ.

ශ්‍රී ලාංකේය සමුද්‍රීය ක්‍ෂේත්‍රයේ ව්‍යවස්ථාදායක හා නියාමන නෛතික කරුණු වැඩි දියුණු කිරීම ඇතුළු ක්‍රියාකාරී කටයුතු රැසකට උරදෙමින් ක්‍ෂේත්‍ර රැසක වෘත්තීයවේදීන් සමුහයකින් සන්නද්ධව CMM ආයතනය කටයුතු කරනු ලබයි.
මෙම උත්සව අවස්ථාවට CMM ආයතනයේ ඇරයුමෙන් දිවයිනේ කීර්තිමත් සමුද්‍රීය ක්‍ෂේත්‍රයේ වෙළඳ නාවික කපිතාන්වරුන්  ඇතුළු උසස් වෘත්තිකයන් රැසක් එක් වි ය.

Leave a Reply

*

17 − 12 =