අභිනව වරාය හා නාවික ගරු අමාත්‍ය ලෙසින් රෝහිත අබේගුණවර්ධන මහතා වැඩ භාර ගනියි

අභිනව වරාය හා නාවික අමාත්‍ය ලෙසින් රෝහිත අබේගුණවර්ධන මහතා 2020.08.14 දින පෙරවරුවේ සිය ධූරයේ වැඩ භාරගන්නා ලදී. සම්බුද්ධත්ව ජයන්ති චෛත්‍ය පරිශ‍්‍රයේ දී සර්වාගමික ආශිර්වාද මැදින් සිය ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව රෝහිත අබේගුණවර්ධන මහතා පැමිණ සිටි සම්භාවණීය පිරිස අමතමින්, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ සෞභාගයයේ දැක්ම මෙරටේ ජනතාව විසින් දෙවරක් අනුමත කර තිබෙන බවත්, එහි එක් අවස්ථාවක් ලෙසින් හැටනවලක්‍ෂයක් මෙරටේ ජනතාව සිය ඡන්දය පාවිච්චි කරමින් එතුමා ජනාධිපති ලෙසින් පත්කළ අවස්ථාවත්, අනතුරුව ජනතාව විසින් තුනෙන් දෙකක ජන වරමක් ලබා දෙමින් සෞභාග්‍යයේ දැක්ම ඉදිරියට ගෙනයාම සඳහා අවශ්‍ය වටපිටාව සකස් කර දුන් බවත් පැවසීය.

රජයක් ලෙසින් එම වගකීම ඉටුකිරීමේ දී ජාතියේ හදවත බඳු වරාය ක්‍ෂේත‍්‍රය, නාවික ක්‍ෂේත‍්‍රය තමා වෙත භාරදීමට තමා වෙත තැබූ විශ්වාසය පිළිබඳ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාටත්, පරමාදර්ශි නායක ගරු අගමැති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාටත් පොදුජන පෙරමුණ නම් වු සිය පක්‍ෂයේ නායක බැසිල් රාජපක්‍ෂ මැතිතුමාටත් තම ගෞරවාදරය පුදකර සිටින බැව් පැවසී ය. වරාය විෂයභාර රාජ්‍ය අමාත්‍යවරයාත්, වරාය හා නාවික අමාත්‍යාංශයේ ලේකම්, ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිතුමාත්, නාවික ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රධානින්, නිලධාරීන්, සේවක මහත්ම මහත්මීන් සමග ශක්තිමත් වූ ගමනක් යාමට තමා අපේක්‍ෂා කරන බැව් පැවසීය. තවද, ශ‍්‍රී ලාංකේය වරාය ක්‍ෂේත‍්‍රය, නාවික ක්‍ෂේත‍්‍රය කලාපීය ප‍්‍රබලම ස්ථානයක් කරා රැගෙන යාමට සෞභාග්‍යයේ දැක්ම සමග පෙරට යාමට තමා-අපේක්‍ෂා කරන බවත්, රටේ ආර්ථීකයට ඉතා ශක්තිමත්ව දායක වන අමාත්‍යාංශය ලෙසින් වරාය හා නාවික අමාත්‍යාංශය පත්කිරීමට අපේක්‍ෂා කරන බවත්, අපගේ දේශයට විශාල අඩුපාඩුවක්ව පවතින විනය ගරුක සමාජයක් ගොඩ නැංවීමට අතිගරු ජනාධිපතිතුමාගේ ගමන් මගට සිය දායකත්වය ලබා දෙන
බවත් පැවැසී ය.

අධ්‍යාපන ගරු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා, වැවිලි ගරු අමාත්‍ය රමේෂ් පතිරණ මැතිතුමා, ගුදම් පහසුකම් බහලූම් අංගන වරාය සැපයුම් පහසුකම් බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන ගරු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මැතිතුමා ඇතුළු දේශපාලන ක්‍ෂේත‍්‍රයේ සාමාජික මහත්ම මහත්මීන්, කළාකරුවන් ඇතුළු පිරිසක් අභිනව අමාත්‍යතුමා වෙත සිය සුභාශිංසන පිරිනැමීමට පැමිණ සිටි අතර, වරාය හා නාවික අමාත්‍යාංශ ලේකම් එම්.පී.කේ. මායාදුන්නේ, ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරල් දයා රත්නායක මැතිතුමා, වරාය හා නාවික අමාත්‍යාංශ අතිරේක ලේකම් කුමාරි සෝමරත්න, ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ උපසභාපති/කළමණාකාර අධ්‍යක්‍ෂ ඩබ්.එස්. වීරමන්, අතිරේක කළමණාකාර අධ්‍යක්‍ෂ උපාලි ද සොයියා යන මහත්වරුන් ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජික මහත්ම මහත්මීන්, උසස් නිලධාරීන්, වෘත්තීය සමිති සාමාජිකයින් හා සේවක මහත්ම මහත්මීන් රැසක් ද වරාය හා නාවික
අමාත්‍යාංශයේ අනෙකුත් ආයතවල උසස් නිලධාරීන් ද මෙම අවස්ථාවට එක් වූ හ.

ඉහත ප්‍රධාන සේයාරුව :වරාය හා නාවික ගරු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සිය ධූරයේ වැඩ ඇරඹු මොහොත.

වරාය හා නාවික ගරු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සිය ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව ඊට අදාල ලිපිය වරාය හා නාවික අමාත්‍යාංශ ලේකම් එම්.පී.කේ. මායාදුන්නේ මහතා වෙත ලබා දුන් අවස්ථාව.

Leave a Reply

*

14 + 6 =