ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ 39වැනි සංවත්සරය අභිමානයෙන් සැමරේ

2018 අගෝස්තු මස 01 දිනට යෙදෙන ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ 39වැනි සංවත්සරය අභිමානයෙන් යුතුව සැමරීමට කටයුතු යොදා ඇත. මෙම 39වැනි සංවත්සරයට සමගාමීව ආගමික සමාජීය හා සංස්කෘතික වැඩසටහක් රැසක් සංවිධානය කර ඇත.

සංහිඳියාව පෙරදැරි කර ගනිමින් සර්ව ආගමික කටයුතු පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ යටතේ වරාය ශ‍්‍රී සම්බුද්ධත්ව ජයන්ති චෛත්‍ය පරිශ‍්‍රයේ දී බෞද්ධාගමික වතාවත් සිදු කෙරෙන අතර, වරාය මුස්ලිම් මස්ලීජය පරිශ‍්‍රයේ දී ඉස්ලාම් ආගමික වතාවත් හා කිතුණු ආගමික පරිශ‍්‍රයේ දී ක‍්‍රිස්තියානි ආගමානුකූල වතාවත් ද, හින්දු ආගමික පරිශ‍්‍රයේ දී හින්දු ආගමික වතාවත් ද සිදු කිරීමට සංවිධානය කර තිබේ.

කොළඹ වරාය හරිත වරායයක් කිරීමේ අරමුණ පෙරදැරිව පැල සිටුවීමේ වැඩසටහනක් ද සංවිධානය කොට ඇත. සංකේතාත්මකව පැල 05ක් වරාය සම්බුද්ධත්ව ජයන්ති පරිශ‍්‍රයේ රෝපණය කිරිම සිදු කරන අතර, මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යායතනය, නැගෙනහිර පර්යන්ත පරිශ‍්‍රය, ලේකම් කාර්යාල භූමිය, කොච්චිකඬේ ගල්ගේට්ටුව අසල භූමිය, සමගි පර්යන්ත පරිශ‍්‍රය ආශ‍්‍රිත භූමිය, ගිනි නිවන ඒකකය අසල භූමිය ආදී ස්ථානයන්ගේ පැල රෝපණය කිරීමට යෝජිත ය.

39වැනි සංවත්සරයට සමගාමීව පසුගිය දා ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ උප සභාපති පී.ජී. දසනායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් (2018.07.30) ලේ දන් දීමේ වැඩසටහනක් ද ක‍්‍රියාත්මක වූ අතර, ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සේවක මහත්ම මහත්මීන් රැුසක් ද මෙම සත්ක‍්‍රියාවට දායක වූ හ. ජීවිතයත් මරණයත් අතර දිවි ගෙවන මහරගම අපේක්‍ෂා රෝහලේ නේවාසිකයන් හට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඩංගු පාර්සල් පරිත්‍යාග කිරීම ද 39 වැනි සංවත්සරයට සමගාමීව සිදු කරනු ලබන අතර, එය 2018.08.02 දින ප.ව. 03.00ට ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සේවක මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් සිදු වේ.

Leave a Reply

*

15 − five =