කොළඹ ප‍්‍රදේශයේ 37 වැනි කිරි හා කිරි නිෂ්පාදන අලෙවිසැල කොළඹ වරායේ ස්ථාපිත වේ

ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය තුළ දියර කිරි භාවිතය ප‍්‍රචලිත කරමින් සේවක මහත්ම මහත්මීන් සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට යොමු කිරීමේ අරමුණෙන්, පශූ සම්පත් සංවර්ධන මණ්ඩලය හා එක්ව දියර කිරි හා කිරි ආශ‍්‍රිත නිෂ්පාදන අලෙවිසැලක් කොළඹ වරාය පරිශ‍්‍රයේ දී 2018.05.15 දින සේවක අයිතියට පත් කරන ලදී.

අන්තර් ජාතික ප‍්‍රමිතීන්ට අනුව ගිනි සහ රසායන ද්‍රව්‍ය ආශ‍්‍රිතව සේවය කරන සේවක මහතුන්ගේ ශරීරයේ කැල්සියම් ප‍්‍රතිශතය ප‍්‍රශස්ත මට්ටමෙන් පවත්වා ගැනීමට දියර කිරි, සේවය කරන ස්ථානයේදීම ලබා දිය යුතු යන නියාමනයන්ට අනුකූලව මෙම කිරි හා කිරි ආශ‍්‍රිත නිෂ්පාදන අලෙවිසැල ආරම්භ කිරීම සිදු වූ අතර, එය පශූ සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් කොළඹ ප‍්‍රදේශයේ ආරම්භ කරන ලද 37 වැනි නිෂ්පාදන අලෙවිසැල වේ.

මෙම අවස්ථාවට එක් වූ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ උප සභාපති පී.බී.දිසානායක මහතා උත්සව සභාව අමතමින්, වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා, වරාය හා නාවික අමාත්‍යාංශයේ වැඩ භාරගැනීමත් සමඟ සිදු කළ ප‍්‍රථම රාජකාරිය වූයේ වරාය සේවක මහත්ම මහත්මීන්ගේ ආහාර වේලේ ගුණාත්මක බව ඉහළ නැංවීම බැව් පැවසීය. එමෙන්ම, වරාය අධිකාරිය නිරන්තරයෙන් සේවක මහත්ම මහත්මීන්ගේ සෞඛ්‍ය සම්පන්නභාවය ඉහළ නංවාලීමට කටයුතු කරන බවත්, වෑද්දුම් හා බොයිලේරු ආශ‍්‍රිත සේවයේ යෙදෙන සේවක මහත්වරුන් හට කිරි වීදුරුවක් ලබාදීම එහිම දිගුවක් බවත් පැවසීය. මීට පෙර අවස්ථා කිහිපයකදීම මෙම දියර කිරි ලබා දීමේ වැඩසටහන් ක‍්‍රියාත්මක වුවද ඒවා අතරමග නතර වීම වරාය හා නාවික අමාත්‍යතුමා සහ වරාය සභාපති ප‍්‍රමුඛ කළමණාකාරීත්වයේ සැලකිල්ලට යොමුව මේ ලෙස නැවතත් දියත් කිරීමට හැකිවීම සතුටට කරුණක් බැව් පැවසී ය.

මෙම අවස්ථාවට පශූ සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති කේ. මුතුවිනයාගම්, නියෝජ්‍ය සභාපති මාතලි ජයසේකර, සාමාන්‍යාධිකාරී උපාලි ජයවර්ධන, අලෙවි කළමණාකාරිණි සාගරිකා ගුණසේකර, ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ ප‍්‍රධාන කළමණාකරු (සන්නිවේදන හා මහජන සම්බන්ධතා) නලින් අපොන්සු, ප‍්‍රධාන කළමණාකරු (ආරක්‍ෂක) එයාර් කොමදෝරු චන්න පේ‍්‍රමරත්න, ප‍්‍රධාන යාන්ත‍්‍රික ඉංජිනේරු ජේ.ඒ.චන්ද්‍රරත්න මහතා ඇතුළු උසස් නිලධාරීන් හා සේවක මහත්ම මහත්මීහූ රැසක් එක්වුහ.

Leave a Reply

*

15 + 2 =