ග්ලෝබල් පොර්ට් ෆෝරම් 2018 – වසරේ වරාය අධිකාරිය සම්මානය ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට

ග්ලෝබල් පෝර්ට් ෆෝරම් විසින් සිව්වැනි වරට පවත්වන ලද සම්මාන උළෙලේ ‘2018 වසරේ වරාය අධිකාරිය’ සම්මානය දිනා ගැනීමට ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සමත් වි ය. පසුගිය දා ඩුබායි හි ග‍්‍රෑන්ඞ් හයාට් (Grand Hyatt) හෝටල් පරිශ‍්‍රයේ පැවැති මෙම සම්මාන උළෙලේ දී ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය නියෝජනය කරමින් ප‍්‍රධාන කළමණාකරු (අලෙවි හා ව්‍යාපාර ප‍්‍රවර්ධන) උපුල් ජයතිස්ස මහතා සහ ප‍්‍රධාන කළමණාකරු (සන්නිවේදන හා මහජන සම්බන්ධතා) නලින් අපොන්සු මහතා විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ සබඳතා හා ජාත්‍යන්තර සහයෝගිතා අමාත්‍යංශයේ, ආර්ථික සහ වෙළඳ සම්බන්ධතා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා මූනා අල් මැයිනි මහත්මියගේ සුරතින් මෙම සම්මානය ලබා
ගන්නා ලදී.

වරාය උපාය මාර්ගික සැලැසුම් සහ වරාය සංවර්ධනය, වරාය ස්වයංක‍්‍රීයකරණය, වරාය මූල්‍යකරණය සහ මෙහෙයුම් ඵලදායීතාවය පිළිබඳ සාකච්ඡුා ඇතුළත් දෙදිනක විශේෂ සම්මේලනයක් ද පසුගිය 21වැනිදා සිට මෙම සම්මාන උළෙලට සමගාමීව පැවැත්විණි.

2008 වසරේ සිංගප්පූරුවේ කොස්මොපොලිටන් ග්ලෝබල් පෝර්ට් හි දී ව්‍යාපාරිකමය අරමුණු මුල් කර ගනිමින් ආරම්භ කරන ලද ලෝක වරාය සැසිය ( Global Ports Forum – GPF) විසින් වාර්ෂිකව මෙම සම්මාන උළෙල සංවිධානය කරනු ලබයි. එහි දී සාමාජික වරායයන්ගේ ක‍්‍රියාකාරීත්වය හා එහි ඉදිරි සංවර්ධන දායකත්වය පිළිබඳ නිරන්තර සැලකිල්ලට ගනු ලැබේ.

මෙවර සම්මාන උළෙලේ දී ප‍්‍රශස්ත දායකත්වය හා වෘත්තීයමය ස්වභාවයෙන් යුතුව කටයුතු කරනා වෙසෙස් ප‍්‍රදේශයන් හි වරාය සහ පර්යන්ත පිළිබඳ සහ ඒවායේ සාර්ථකත්වය ළඟා කර ගැනීම පිළිබඳ අවධානයට සහ ඇගැයුමට ලක් කරමින් ක්‍ෂේත‍්‍ර ගණනාවක් යටතේ මෙම සම්මාන පිරිනැමීම සිදු කෙරිණි. කොළඹ වරායේ SAGT පර්යන්තය දකුණු ආසියාවේ විශිෂ්ටතම පර්යන්තය ලෙස පසුගිය වසරේ දී සම්මානයට පාත‍්‍ර වූ අතර, අඛණ්ඩ ලෙස මෙවරත් එම සම්මානයට හිමිකම් කියනු ලැබිණ.

ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සහ කොළඹ වරායේ මේසා සුවිසල් විජයග‍්‍රහණයෙහි ලා වත්මන් රජයේ වරාය හා නාවික ගරු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමාගේ විශිෂ්ට නායකත්වයත්, ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය ගරු සභාපති ආචාර්ය පරාක‍්‍රම දිසානායක මහතාගේ නිසි මගපෙන්වීම හා කළමණාකාරීත්වයත්, වරාය මෙහෙයුම් ක‍්‍රියාවලියට සම්බන්ධ සියළුම පර්ශවයන්ගේ දායකත්වය හා වෘත්තීය සමිති මෙන්ම සමස්ථ වරාය සේවක මහත්ම මහත්මීන් අතර පැවැති සහ සම්බන්ධතාවය ඉතා ප‍්‍රශස්ත ලෙස වර්ධනය වී තිබීම ද තුළින් මෙවන් ජයග‍්‍රහනයක් කරා ළඟා වීමට හේතු වී තිබේ.

එමෙන් ම මේ වන විට ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය මගින් තුන් අවුරුදු සංවර්ධන සැලැස්මක් සකස් කර ඇති අතර, ඒ මගින් ඉදිරි කාලය තුළ දී සංවර්ධන කටයුතු වඩාත් වේගවත් ව ඉදිරියට ගෙන යාමටත්, ඒ තුළින් බහලූ මෙහෙයුම් තව දුරටත් ඉහළ නංවමින් කොළඹ වරාය ආසියාවේ කේන්ද්‍රීය වරාය බවට කිරීමට අපේක්‍ෂිත ය.


2018 වසරේ වරාය අධිකාරිය සම්මානය ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය විසින් දිනා ගත් මොහොත. ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ ප‍්‍රධාන කළමණාකරු (අලෙවි හා ව්‍යාපාර ප‍්‍රවර්ධන) උපුල් ජයතිස්ස මහතා සහ ප‍්‍රධාන කළමණාකරු (සන්නිවේදන හා මහජන සම්බන්ධතා) නලින් අපොන්සු මහතා විසින් එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ විදේශ සබඳතා හා ජාත්‍යන්තර සහයෝගිතා අමාත්‍යංශයේ, ආර්ථික සහ වෙළඳ සම්බන්ධතා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා මූනා අල් මැයිනි මහත්මියගේ සුරතින් මෙම සම්මානය ලබා ගත් මොහොත.

Leave a Reply

*

three × one =