ශ්‍රී ලංකා වරාය අධිකාරිය 43වැනි සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 43වැනි සංවත්සරික සමරුම් උත්සවය සර්ව ආගමික වතාවත් වලට මූලිකත්වය දෙමින් ඉතා චාම් අයුරින් අද (2022.08.01) දින පවත්වනු ලැබී ය. වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතාගේ සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සභාපති ආචර්ය ප්‍රසන්ත ජයමාන්න මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා වරාය අධිකරියේ සම්බුද්ධත්ව ජයන්ති චෛත්‍ය පරිශ්‍රයේ දී ප්‍රධාන සාංවත්සරික සමරුම් වැඩසටහන පැවැත්විණි.

මෙහි දී රැස්ව සිටි පිරිස ඇමතූ වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා මෙසේ පැවසී ය,
‘වසර හතලිස් තුනක් කියන්නේ සැලකිය යුතු කාලයක්.  ඒ කාලය තුළ ශ්‍රී ලංකා වරාය අධිකාරිය දීර්ඝ ගමනක් පැමිණ තිබෙනවා.  ඒ ගමන තුළ දුක් කම්කටොළු සහිත කාලයකුත්, ඉතා හොඳින් සුන්දරව ගත වූ කාලයකුත් තිබෙනවා.   මේ කාලය දෙස නැවත හැරී බැලීමේ දී අපට පෙනෙනවා  ශ්‍රී ලංකා වරාය අධිකාරිය තමන්ගේ කාර්ය භාරය මනාව ඉටු කරලා තියෙන වග.  වරාය අධිකාරියේ කාර්ය භාරය නිසිලෙස ඉටු කිරීමෙන් ජාතික ආර්ථිකය ශක්තිමත් කොට රටේ ජනතාවට වඩාත් ප්‍රතිලාභ අත්කර දෙන්නට හැකියාව තියෙනවා. ස්වභාවික පිහිටීමේ ප්‍රතිලාභ අනාගත පරපුරටත් හිමි කර දීම අවශ්‍යයි.  වරාය අධිකාරියේ ඉහළ කාර්ය සාධනයට හේතුව එහි කලමණාකාරීත්වයේත්, සේවක මණ්ඩලයේත් කැපවීම. මේ කැපවීම දිගටම පවත්වාගෙන යෑම අත්‍යවශ්‍යයි. පසුගිය වසරට වඩා සුළු ප්‍රමාණයකින් හෝ ඔබේ කැපවීම වැඩි කරන්න කියා මා ඉල්ලා සිටිනවා.  එවිට අපිට හොඳ ගමනක් යා හැකියි.  මා වෘත්තීය සංගම් වලින් ද ඉල්ලා සිටිනවා, මේ සඳහා සහයෝගය ලබා දෙන ලෙස.  අපි කතාවට කියනවා ‘තැල්ල බඳින්න බෙල්ල තියෙන්න ඕන කියලා.’ ඒ නිසා අප හැමෝම එකතු වෙලා වරාය අධිකාරිය ආරක්‍ෂා කර ගත යුතුයි.’

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී  ලංකා වරාය අධිකාරිය සභාපති ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න මහතා, ‘2019 සිට වරාය  අධිකාරියට මුහුණ දීමට සිදුවුණු අභියෝග පිළිබඳ අපි සියලු දෙනා ට අවබෝධයක් තිබෙනවා.  මුළු රට ම නැවතිලා තිබුණු මොහොතක, මුළු රටේ ම කටයුතු කරගන යෑමට නොහැකි අවස්ථා වල දී 2019/20/21 තුන් වසර තුළ  දී  ම වරාය කටයුතු මොහොතක්වත් නැවතුනේ නැහැ.’  යැයි ප්‍රකාශ කළේ ය.  

එහි දී තව දුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා මෙසේ ද පැවසී ය. ‘ලෝකයේ තිබෙන නැව් සමාගම් වල විශ්වාසය දිනා ගන්න පුළුවන්  විදියට අපි වැඩ කරලා තියෙනවා.  මෙම කාර්යයන් ඉටු කරගෙන යන අතරතුර ම, 2021 වර්තාගත වර්ෂයක් බවට පත්කර ගන්නටත් අපට හැකියාව ලැබුණා. බහලුම් මිලියන 7.25කට ආසන්න ප්‍රමාණයක් මෙහෙයවමින් වැඩි ම බහලුම් ප්‍රමාණයක් මෙහෙය වූ වර්ෂය බව ට එම වර්ෂය පත්වුණා.    මේ සියල්ල අප සියලු දෙනාගේ කැපවීමේ ප්‍රතිඵල.  2022 වර්ෂයේ පළමු කාර්තුවේ කාර්ය සාධනය අති විශිෂ්ටයි.  පසුගිය වර්ෂයට වඩා වැඩි කාර්ය සාධනයක් අපි අත් කරගෙන තිබෙනවා.  රට  තුළ කුමන අර්බුද පැවතිය ද ඒවා වරාය තුළට ගෙනත්, වරාය කටයුතු අඩාල කරගන්න වෘත්තීය සමිති ඇතුළු අප සියලු දෙනා ම කැමති නැහැ.  වරාය අධිකාරිය ජාතික සම්පතක් නිසා අප සියලු දෙනා එක්ව එය ආරක්‍ෂා කර ගත යුතුයි.’

‘ඔබ සියලු දෙනාත්, වෘත්තීය සමිතිත් එකතුව, දිනා ගත් නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ඉතා සාර්ථකව අඛණ්ඩව මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා.  ඒ පිළිබඳ තොරතුරු අපගේ වෙබ් අඩවිය තුළින් ඕනෑම කෙනෙකුට බලා ගන්න පුළුවන්.  රටේ බොහෝමයක් සංවර්ධන කටයුතු නැවතිලා තිබෙන මේ මොහොතේත්, අපි නැගෙනහිර පර්යන්තයේ කටයුතු සිදුකරගෙන යනවා වගේ ම එම පර්යන්තයට අවශ්‍ය උපකරණ මිල දී ගැනීමට අවශ්‍ය කටයුතුත් මේ වන විට සිදු වෙනවා.  අපේ උත්සාහය අපි කළින් සැලසුම්  කළ දිනට ම එම කාර්යය නිම කරන්න.  මෙයට අමතරව ගාල්ල සහ ත්‍රිකුණාමලය වරායයන් සංවර්ධනය කිරීම සඳහා සැලසුම් සකස් කර ඒවා එකින් එක මේ මොහොත වන  වට ක්‍රියාත්මක කරමින් පවතිනවා.’  

‘වරාය ජාතික කර්ය භාරයක් ඉටු කරන ආයතනයක්.  එහි සේවක මණ්ඩලයත් ජාතික කර්ය භාරයක කොටස්කරුවන්.  ජාතික වශයෙන් අර්බුදයක් පවතින මෙවන් වකවානුවක වරාය අධිකාරියට තමන්ගේ උපරිම සේවය හා දායකත්වය ලබා දෙනමෙන් මම කාරුණිකව ඉල්ලා සිටිනවා.’

මෙම අවස්ථාව සඳහා වරාය හා නාවික අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන්, ශ්‍රී ලංකා වරාය අධිකාරිය උප සභාපති ජී.යූ.කේ. අල්ගේවත්තගේ, කලමණාකාර අධ්‍යක්‍ෂ උපුල් ජයතිස්ස,  අධ්‍යක්‍ෂ  මණ්ඩල සාමාජිකයන්, වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු සේවක මහත්ම මහත්මීන් රැසක් සහභාගී වූහ.

Leave a Reply

*

20 − eight =