ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මහපොළ වරාය සමුද්‍රීය විද්‍යායතනයෙන් පුහුණුව ලැබූ නාවිකයින් 24 දෙනෙකු සහතික පත් ලබා අද දින විසිර ගියේ ය. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ පූර්ණ අනුග්‍රහය මත පුහුණු කිරීමට නියමිත නාවිකයින් 100 දෙනෙකුගෙන් යුත්ක ණ්ඩායමේ, පළමු කණ්ඩායම ලෙස මෙම 24 දෙනෙකුගෙන් යුතු කණ්ඩායම සැලකේ.
නාවික වෘත්තිකයින් ලෙස වෙළඳ නෞකාවන්හී වෘත්තීමය අවස්ථාවන් මෙම පුහුණුලාභීන්හට විවෘතව පවතී. මෙම අවස්ථාවේ දී සිය අදහස් ප්‍රකාශ කරමින් වරාය හා නාවික ගරු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුයේ ශ්‍රී ලංකාවේ වෙළඳ නාවික ක්ෂේත්රය නව දැක්මකින් යුතුව ඉදිරියට යායුතු බවයි. රැකියා උත්පාදන ක්ෂේත්රයක් ලෙස ජාත්‍යන්තර නාවික ක්ෂේත්රයට පුහුණු නාවිකයන් ලබාදීම තුළින් විශාල විදේශ විනිමයක් ශ්‍රී ලංකාවට ලබා ගැනීමේ ඉලක්කය වෙත තමන් යොමුව ඇති බවයි. ඒ සම්බන්ධයෙන් වෙළඳ නාවික අධ්යක්ෂ කාර්යාලය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත අවශ්‍ය උපදෙස් මේ වන විට ලබා දී ඇත. මේ වන විට 16000ක පමණ පුහුණු නාවිකයන් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායට ඇතුළත්ව සිටියි.
එහි ඉදිරි පියවරක් ලෙස අද දවසේ මෙලෙස වෘත්තීය නිපුණතාවය ලැබූ නාවිකයන් 24 දෙනා අතර වෙළඳ කාන්තා නැවියන් තිදෙනෙකු ද සිටීම සුවිශේෂි කරුණක් ලෙස දැක්විය හැක. වෘත්තීය කුසලතාවයන් නොමැති තරුණ පිරිසක් වෙනුවට වෘත්තීය නිපුණතාවයෙන් හෙබි තරුණ ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම තුළින් විදේශ රැකියා වෙළඳ පොළ ජයගැනීමට ද, අඩු පුද්ගල ඒකක ප්‍රමාණයකින් වැඩි විදේශ විනිමයක් උපයා ගැනීමටත් හැකියාව ලැබීම මෙම ක්ෂේත්රය සතුවූ විශේෂත්වයකි.
වරාය හා නාවික අමාත්‍යාංශයේ ඉදිරි වසර 3 හි ඉලක්කය වන්නේ පුහුණු නාවිකයින් සංඛ්‍යාව 50,000 දක්වා වර්ධනය කිරීමයි.
මෙම අවස්ථාවේ දී අදහස් පළ කළ තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ, ව්‍යවසාය සංවර්ධන ගරු රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව වෘත්තීය හැකියාවන්ගෙ න් බලගැන්වීම තුළින් ජාත්‍යන්තර ශ්‍රම වෙළඳ පොළ තුළ පවතින ඉල්ලූමට වැඩි දායකත්වයක් සැපයීමේ වටපිටාව මෙවන් පුහුණු තුළින් ඇතිවන බවයි. එමෙන්ම ජාත්‍යන්තර කම්කරු සංවිධානය හා ජාතික නාවිකයන්ගේ වෘත්තීය සංගමය විසින් මෙම නාවිකයන් 100 දෙනෙකු පුහුණු කිරීම සඳහා දක්වන ලද අනුග්‍රහය දැනට තරුණ විරැකියාව තුරන් කිරීමට ගෙන යන වැඩපිලිවෙලට අතිවිශාල දායකත්වය සපයන බවයි.
එමෙන්ම, වරාය හා නාවික අමාත්‍යාංශය විසින් ඉදිරි වසර 3තුළ වෘත්තීය නාවිකයින් 50,000ක් පුහුණුකර අවසන් කිරීමේ සැලසුමට සමගාමීව සිදුකරන මෙවන් ව්‍යාපෘතීන් වෙනුවෙන් තමන් සිය කෘතඥතාව පළ කර සිටින බවයි. ගෝලීය වසංගත තත්වයක් පවතින අවස්ථාවක වෙන් වෙන්ව කටයුතු කරනවාට වඩා මෙලෙස සාමුහිකව කටයුතු කිරීම තුළින් බොහෝ ජයග්‍රහණ ලබාගත හැකි බවයි.
වරාය හා නාවික ගරු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ හා ක්‍රීඩා හා තරුණ කටයුතු කැබිනට් අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ සහ ව්‍යවසායකත්ව සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යායතනයේ දී පැවති මෙම උත්සවය සඳහා ජාතික නාවිකයන්ගේ වෘත්තීය සංගමය හා ( ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සාමාජිකයින් ද, වරාය හා නාවික අමාත්‍යාංශයේ ලේකම් යු.ඩි.සී. ජයලාල්, වෙළඳ නැව් අධ්යක්ෂ ජෙනරාල් අජිත් සෙනෙවිරත්න, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමණාකාර අධ්යක්ෂ උපුල් ජයතිස්ස, හාබර් මාස්ටර් කපිතාන් නිර්මාල් ද සිල්වා යන මහත්වරු සහ නාවික ක්ෂේත්රයේ ප්‍රවීණයන් ඇතුළු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උසස් නිලධාරීන් හා මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යායතනයේ කළමණාකාරීත්වය හා ආචාර්ය මණ්ඩලය මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.