වරාය භාවිතා කරන්නන්ගෙන් හම්බන්තොට වරාය ගිවිසුමට පැසසුම්

ශ‍්‍රී ලංකා නෞකා මෙහෙයුම්කරුවන්ගේ සංගමය -Sri Lanka Association of vessel operators (SLAVO) ශ‍්‍රී ලංකා නැව් භාණ්ඩ මෙහෙයුම්කරුවන්ගේ සංගමය – Sri Lanka Logistics & Freight Forwarders Association (SLFFA), ශ‍්‍රී ලංකා නැව් නියෝජිතයන්ගේ සංගමය Ceylon Association of Shipping Agents(CASA) යන ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම වරාය භාවිත කරන්නන්ගේ සංවිධාන හම්බන්තොට වරාය සම්බන්ධයෙන් වන බදු ගිවිසුම පිළිබඳව රජය වෙත සිය ප‍්‍රසාදය පලකර සිටී.

පසුගියදා වරාය හා නාවික කටයුතු ගරු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා හා ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක‍්‍රම දිසානායක මහතා සමග හම්බන්තොට වරාය ගිවිසුම සම්බන්ධයෙන් පවත්වන ලද දැනුවත් කිරීමේ හමුවේ දී ඔවුන් මේ බව පවසන ලදි.

මෙහි දී අදහස් දක්වන ශ‍්‍රී ලංකා නෞකා මෙහෙයුම්කරුවන්ගේ සංගමය (SLAVO) මෙම ගිවිසුම දෙස ධනාත්මක කෝණයකින් බලන බව පවසයි. හම්බන්තොට වරාය බදුදීම තුළින් ශ‍්‍රී ලංකා රජය උපායමාර්ගික පියවරක් තබා ඇති බවත්, එය වෙළඳ මෙන්ම ආර්ථික වශයෙන් ද වාසිදායක බවත්, ඔවුන්ගේ අදහසයි. රජය විසින් ගත් මෙම පියවර ඔවුන්ගේ ද පැසසුමට ලක්වන අතර, එය ශ‍්‍රී ලංකාවේ වරාය හා නාවික ක්‍ෂේත‍්‍රයේ අනාගත වර්ධනයට හේතු වන බව ද වැඩිදුරටත් සඳහන් කර සිටී.

ශ‍්‍රී ලංකා නැව්භාණ්ඩ මෙහෙයුම්කරුවන්ගේ සංගමය (SLFFA) සඳහන් කරන්නේ මෙම බදුදීම නිසා කොළඹ වරාය ලද ණය සහනය කොළඹ වරායේ සහ අනෙකුත් වරායයන්වල ප‍්‍රගමනයට විශාල මූලාරම්භයක් සපයා ඇති බවයි.

CASA හෙවත් ශ‍්‍රී ලංකා නැව් නියෝජිතයන්ගේ සංගමය සඳහන් කරන්නේ, මෙම ඓතිහාසික ගිවිසුම මගින්, විශේෂයෙන්ම ලංකාවේ දකුණු පළාතේ ඇතිවන සුවිශේෂි සංවර්ධනය එම ප‍්‍රදේශයේ නොයෙක් රැුකියා අවස්ථා උත්පාදනයට හේතුවන බවත්, එය, එම ප‍්‍රදේශයේ ජනතාවට ලැබෙන ප‍්‍රතිලාභයක් බවත් ය. එබැවින්, මෙම ගිවිසුම සම්බන්ධයෙන් රජය වෙත තම ප‍්‍රසාදය පල කරන බවයි.

මෙලෙස, විෂය පිළිබඳව ප‍්‍රායෝගිකව කටයුතු කරන සංවිධාන විසින් මෙම ගිවිසුම අගය කිරීම තුළින් ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය විසින් සිය අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් ගන්නා ලද හම්බන්තොට වරාය සම්බන්ධයෙන් වන තීරණය ඉටුකොට ඇත්තේ ජාතික වුවමනාවක් බව ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ අදහසයි.

Leave a Reply

*

4 × 2 =