කොළඹ වරායේ ජයබහලූ පර්යන්තය – ටියුටිකොරින් වරාය අතර RCL පෝෂක නැව් සේවාව ඇරඹේ.

RCL පෝෂක නැව් සේවාව ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ ජයබහලූ පර්යන්තය සමග එක්ව සේවා කටයුතු ඇරඹීම පසුගියදා සිදුවිය.

ඉන්දීය තමිල්නාඩු ප‍්‍රාන්තයේ දෙවන විශාලතම වරාය වන ටියුටිකොරින් වරාය හා කොළඹ වරාය අතර සඳුදා සහ සිකුරාදා යන දිනයන්හි සතියකට ගමන්වාර දෙක බැගින් ඇරඹෙන මෙම පෝෂක නැව් සේවාවේ සමාරම්භය සනිටුහන් කරමින් බහලූ 1730 (TEUs) ධාරිතාවයෙන් යුතු MV Charlie නෞකාව කොළඹ වරායේ ජයබහලූ පර්යන්තයට පැමිණීම පසුගියදා සිදුවිය.

මෙම සුවිශේෂිත අවස්ථාව සනිටුහන් කරමින් පැවති උත්සව අවස්ථාවේ විශේෂ ඵලක හුවමාරුවක් ද සිදු වූ අතර, ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය නියෝජනය කරමින්, ප‍්‍රධාන කළමණාකරු (අලෙවි හා වෙළෙඳ ප‍්‍රවර්ධන) උපුල් ජයතිස්ස මහතා සහ නෞකාවේ කපිතාන් ඔලෙග් අනශ්කින් (Oleg Anashkin) මහතා අතර සිදු වූ මෙම ඵලක හුවමාරුවේ දී අදහස් දැක්වූ ප‍්‍රධාන කළමණාකරු (අලෙවි හා වෙළෙඳ ප‍්‍රවර්ධන) උපුල් ජයතිස්ස මහතා, ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට මෙම අවස්ථාව ඓතිහාසික අවස්ථාවක් බවත්, වරාය අධිකාරියේ සභාපතිවරයා ප‍්‍රමුඛ කළමණාකාරීත්වයේ සුභ පැතුම් නව පෝෂක සේවාවට පිරිනමන බවත් නිරන්තරයෙන් විශිෂ්ඨ සේවාවක් මෙමගින් අපේක්‍ෂා කරන බවත් පැවසීය.

නෞකාවේ කපිතාන් ඔලෙග් අනශ්කින් මහතා අදහස් දක්වමින් කොළඹ වරාය සමගින් මෙම සේවාව සිදුකිරීමට ලැබීම ඉතා සතුටුදායක අවස්ථාවක් බැව් පැවසීය. මේ අවස්ථාවට එක් වූ ඩෙල්මේජ් නැව් සමාගමේ සාමාන්‍යාධිකාරි එරික් වැන්ඩෙන්ඩි‍්‍රසෙන් (Eric Vandendrisen) මහතා අදහස් දක්වමින් ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ ජය බහලූ පර්යන්තය සිදු කරන බහලූ මෙහෙයුම් ධාරිතාව ඉහළ නංවාලීමට මෙම නැව් සේවාව ඉවහල් වන බවත්, RCL නාමය යටතේ කොළඹ වරාය හා නැගෙනහිර බෙංගාල සබඳතා තර වීමට මෙය අඩිතාලමක් බවත් පැවසීය.

කොළඹ වරාය කේන්ද්‍රීය වරාය ලෙස කටයුතු කරමින් ඉන්දියානු උප මහද්වීපයට අයත් වරායයන් සමග සිය සේවාවන් සැපයීමට RCL නැව් සේවාව ඉදිරියේ දී කටයුතු කරනු ඇත.

1979 වර්ෂයේ තායිලන්තය මූලික කර ගනිමින් ඇරඹි RCL (Regional Container Lines) නැව් සේවාව, 1988 වසරේ සිට තායි කොටස් වෙළඳපොළේ ලැයිස්තු ගතව කටයුතු කරන අතර, මේ වන විට RCL නැව් සේවාව ආසියාතික කලාපයේ ප‍්‍රමුඛතම බහලූ ප‍්‍රවාහන සේවයක් ලෙස හඳුනාගෙන ඇති අතර නාවික හා සමුදි‍්‍රක ක්‍ෂේත‍්‍රයේ කීර්තිමත් ආයතනයකි.

මෙම අවස්ථාවට, මෙහෙයුම් කළමණාකරු – අයි.කේ.ඥාණතිලක, ප‍්‍රධාන කළමණාකරු වැ.බ. (සන්නිවේදන හා මහජන සම්බන්ධතා) – නලින් අපොන්සු, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය හාබර් මාස්ටර් – කපිතාන් නිර්මාල් සිල්වා, ඩෙල්මේජ් නැව් සේවාවේ සාමාන්‍යාධිකාරි එරික් වැන්ඩෙන්ඩි‍්‍රයෙන් ඇතුළු නිලධාරි මහත්ම මහත්මීන් පිරිසක් එක්වූ හ.

Leave a Reply

*

8 − three =