“ලොව ප්‍රථම අගමැතිවරිය, ලොව ප්‍රථම විධායක ජනාධිපතිනිය බිහිවූ රට ශ්‍රී ලංකාවයි..”

ජෙනරාල් දයා රත්නායක – සභාපති –  ශ්‍රී ලංකා වරාය අධිකාරිය
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සංවිධානය කළ, කාන්තා දින සැමරුම් උළෙල 2021.03.08 දින වරාය හා සමුද්‍රිය විද්‍යායතනයේ ලලිත් ඇතුලත්මුදලි ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතාගේ මූලිකත්වයෙන් මෙම කාන්තා දින ඇගයීම් උළෙල පැවැත්විණි.  මෙහි දී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වැඩි ම සේවා කාලයක් හිමි අයි.එච්.ඩී. මල්ලිකා මහත්මිය වෙත ඇයගේ සේවය අගයමින් සමරු තිළිණයක් පිරිනැමූ අතර, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජංගම දොඹකර ක්‍රියාකරවන්නියන්ගේ ද සේවය අගයමින් සේවා ඇගයීම් හා තිළිණ ප්‍රදානයක් ද සිදු කරන ලදී.
ජාතියේ හදවතට දිරිය දෙන සේවක මහත්මීන් ඇගැයීම කේන්ද්‍ර කර ගනිමින් පැවති මෙම සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිත දේශණය ප්‍රවීන රංගනවේදී ජැක්සන් ඇන්තනි මහතා විසින් සිදු කරන ලදී. සිය දේශනය පවත්වමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ කාන්තාව පිළිබඳ කතා කිරීමට නිමිත්තක් සෑදීම පිළිබඳ තමා බෙහෙවින් සතුටට පත් වන බවයි. වැඩිදුරටත් අදහස් දක්වමින්, ශ්‍රී ලාංකේය සමාජය මාතෘත්වය හා බැඳුණු අභිමානවත් සංස්කෘතියක සාඩම්බර හිමිකාරීත්වයකට උරුමකම් කියනා බවත්, ශ්‍රී ලාංකේය කාන්තාව පවුල් කේන්ද්‍රීය කර ගනිමින් සමාජය වෙත ප්‍රබල දායකත්වයක් ලබා දෙන බවත් පැවසී ය.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා කාන්තා දින සැමරුම් උළෙල ආමන්ත්‍රණය කරමින් ලොව පළමු අගමැතිණිය, ලොව ප්‍රථම විධායක ජනපතිනිය බිහිවූ රට ශ්‍රී ලංකාව බවත්, අනාදිමත් කාලයක සිට අප කාන්තාවට මුල්තැන දෙමින් කටයුතු කල ජාතියක් බවත් පැවසීය. තවද, ශ්‍රී ලාංකේය සමාජය තුළ මව බිරිඳ, සොයුරිය ආදි ලෙසින් කාන්තා භූමිකාව තුළ පවුල හා සමාජය වෙත ප්‍රබල දායකත්වයක් ලබා දීමට කාන්තාව නිතැනින්ම කැපවන බවත් පැවසී ය.
විශේෂාංග රැසකින් සමන්විතව පැවති මෙම ලෝක කාන්තා දින සැමරුම් උළෙලට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අතිරේක කළමණාකාර අධ්‍යක්‍ෂ (වරාය මෙහෙයුම්) උපුල් ජයතිස්ස, අධ්‍යක්‍ෂ (මුදල්) ශිරාණි වන්නිආරච්චි, අධ්‍යක්‍ෂ (මානව සම්පත් හා සංවර්ධන) නලින් අපොන්සු, සේවා වනිතා ඒකකයේ සභාපතිනී දමයන්ති රත්නායක යන මහත්ම මහත්මීන් ඇතුළු උසස් නිලධාරීන් හා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සියලු අංශ, කොට්ඨාශ නියෝජනය වන සේ සේවක මහත්මීන් රැසක් ද මෙම අවස්ථාවට එක්වී ය.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය තුළ වසර 38 ක සේවා කාලයක් නියුතු අයි.එච්.ඩී.මල්ලිකා මහත්මිය වෙත සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා විසින් සමරු තිළිණයක් ප්‍රදානය කළ මොහොත.
ජංගම දොඹකර ක්‍රියාකරවන්නියන් වෙත සේවා ඇගයීම් හා තිළිණ ප්‍රදානය සේවා වනිතා ඒකකයේ සභාපතිනී දමයන්ති රත්නායක මහත්මිය විසින් සිදු කළ මොහොත.

Leave a Reply

*

nine − seven =