ශ්‍රී ලංකා වරාය අධිකාරිය
සන්නිවේදන හා මහජන සම්බන්ධතා
කොට්ඨාශයේ ප‍්‍රකාශනයකි

+++
news.slpa.lk/theertha
Tel : 011 2483460
Fax : 011 2481917

සංවර්ධන පුවත් භූමිකාව යාවත්කාලින කරනා සමුද්‍රීය ප්‍රවේශය

යහපත් වූ නැව්තොට යන අරුතින් යුතුව තීර්ථ සංවර්ධන පුවත්පත එළිදැක්වෙන්නේ 2006 වසරේ මැයි මාසයේ ය. ශ්‍රී ලංකා වරාය අධිකාරිය සන්නිවේදන හා මහජන සම්බන්ධතා කොට්ඨාශයේ ප්‍රකාශනයක් ලෙසින් ජනතගත වන තීර්ථ පුවත්පත එදා මෙදා තුර රාජ්‍ය ආයතනයන් විසින් අඛණ්ඩව පවත්වාගෙන එනු ලබන සංවර්ධන පුවත්පතක් වේ. එවකට සන්නිවේදන සහ මහජන සම්බන්ධතා කොට්ඨාශයේ නියෝජ්‍යය ප්‍රධාන කළමනාකරු  ලෙස සේවය කළ  නලීන් අපෝන්සු මහතාගේ යෝජනාවකට අනුව ඇරඹි තීර්ථ පුවත්පත මේ දක්වාම ඒ මහතාගේ පූර්ණ අධීක්ෂණයෙන් යුතුව පුරා දශකයට වඩා වැඩි කාලයක් තිස්සේ මුද්‍රණය කොට නොමිලේ බෙදා හරිනු  ලබයි. 2006 සිට මේ දක්වා ශ්‍රී ලංකා වරාය අධිකාරිය කළමනාකරණය කරනු ලැබූ සෑම කළමනාකාරීත්වයක් යටතේ මෙම පුවත්පත සේවකයින්ගේ සහ කළමනාකාරීත්වයේ අදහස් සහ යෝජනා සම්බන්ධ කරන පාලමක් ලෙස මහඟු සේවයක් ඉටු කරමින් සිටින්නේය. එසේම සේවක සේවිකාවන්ගේ නිර්මාණ සඳහා ප්‍රමුඛත්වයක් ලබා දී ඇති තීර්ථ පුවත්පත මෙරට නාවික ක්ෂේත්‍රයේ සංවර්ධන කටයුතු ගැන සුවිශේෂී අවධානයක් යොමු කොට ඇත.

සංවර්ධන සන්නිවේදනයේ මානයන් පුළුල් කරමින් ඇරඹි තීර්ථ පුවත්පත ක්‍ෂේත්‍ර රැසක් අනාවරණය කරයි. ඒ අතර වරාය හා සමුද්‍රීය වෙළඳාමේ  නව මානයන්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉදිරි සංවර්ධන සැලසුම්, වරායේ මානව සම්පත දැනුම ආකල්ප හා කුසලතාවලින් සන්නද්ධ කිරීම, ඉපැරණි වරාය තොරතුරු, සේවක මහත්ම මහත්මීන්ගේ ක්‍රීඩා කෞෂල්‍ය නගා සිටුවීම, සේවක නිර්මාණ කුසලතා ඇගැයීම, සේවක දුවා දරුවන්ගේ දක්‍ෂතා ඇගැයුමට ද තීර්ථ ඉඩකඩ වෙන්වෙයි. එමෙන්ම සේවක මහත්ම මහත්මීන් විසින් යාවත්කාලින වියයුතු විවිධ පාඨමාලා මෙන්ම මානව සම්පත හා බැඳුණු චක්‍රලේඛයන් සම්බන්ධිත කරුණු පිළිබඳ විමසුමට ද ඉඩකඩක් වෙන්වේ.  කළමණාකාරිත්වයේ තීරණ මෙන්ම සේවක අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට ද තීර්ථ හි අවකාශය හිමිවේ. සංවර්ධන පුවත්පතක් ලෙස සිය කාර්ය භාරය ඉටුකරමින් එම තත්වය අතික්‍රමණය කොට සේවක මහත්ම මහත්මීන්ගේ නිර්මාණාත්මක හැකියාවන් හා අදහස් එළි දැක්වීමේ වේදිකාවක් ලෙස තීර්ත මේ වනවිට ලබාඇති ස්ථානය පැසසුම් සහගතය. අතට ලැබුණු පසු විසිකරන පුවත්පත් වෙනුවට එය සුරක්‍ෂිත කරමින් වරාය පිළිබඳ දැනුම සිය නිවස වෙත කැඳවාගෙන යන මුද්‍රිතමය වාහකය බවට තීර්ථ පත්වී ඇති බැව් පාඨක ප්‍රතිචාර සනාථ කරයි. සිංහල/ දෙමළ/ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම තීර්ථ තුළ ලිපි පළ කෙරෙන අතර ආයතනයෙන් විශ්‍රාම ගන්නා සේවක ප්‍රජාව ද තීර්ථ කිසිසේක අමතක නොකරයි. කාලානුරූපීව අවස්ථා කිහිපයකදීම තීර්ථ සිය හැඩය හා පිටු ප්‍රමාණය වෙනස් කරමින් නිරතුරුවම ප්‍රශස්ත සන්නිවේදනය සේවක මහත්ම මහත්මීන් වෙත ලබාදීමට කටයුතු කරයි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සන්නිවේදන සහ මහජන සම්බන්ධතා කොට්ඨාශයේ ප්‍රධාන කළමණාකරු මෙන්ම ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන නලින් අපොන්සු මහතා තීර්ථ පුවත්පතේ කළමනාකාර කතෘ ලෙස කටයුතු කරනු ලබයි.  මාධ්‍යවේදී සම්මානලාභී ගත්කතුවර උපුල් ගුරුගේ සංස්කරණයෙන් යුතුව පිටු 16ක අන්තර්ගතයකින් යුතුව තීර්ථ පුවත්පත මුද්‍රණය කොට බෙදාහරිනු ලබයි.  ආරම්භයේ සිටම තීර්ථ පුවත්පතේ පිටු සැකසූ ශිල්පියා උදිත චන්දන මහතාය. ඊට සහාය වන්නේ දිමුතු තෙන්නකොන් මහතාය. නිරීක්‍ෂණ දායකත්වය නිලන්ත ඉලංගමුව, හර්ෂ උදයකාන්ත පීරිස්, කාව්‍ය ඉන්ද්‍රජිත් මහත්වරුන් සිදු කරනු ලබන අතර පරිගණක අකුරු ඇමුණුම රේණුකා දමයන්ති මහත්මිය ගෙනි. පුවත්පතේ ඡායාරූප ශිල්පීන් ලෙසින් ඩී.කේ. වැලිකල, මහින්ද තෙන්නකෝන්, දුමිදු හඳගම මහත්වරු කටයුතු කරති. තාක්‍ෂණික සහාය රුක්‍ෂාන් සමරධීර සහ අසංක රාජපක්‍ෂගෙනි. තීර්ථ සම්බන්ධීකරණයෙන් දිල්රුක් ජයසේකර, සංජීව විජේසේකර, දේවිකා හෙට්ටිආරච්චි, සන්ධ්‍යා විතාන, එම්.එෆ්.එෆ්. ෆර්සානා යන මහත්ම මහත්මීන් දායක වෙති.

Copyright © 2020 by SLPA News. Created and managed by the Communication and Public Relations Division of Sri Lanka Ports Authority © All rights reserved.