ජාතික බෝවන රෝග විද්‍යායතනයේ
නව හෙද නේවාසිකාගාරය
විවෘත කෙරේ

තාක්ෂණික සහය සමගින්  ව්‍යාපෘතිය මෙහෙය වනු ලැබුවේ ශ්‍රී ලංකා වරාය අධිකාරියයි

 

අංගොඩ පිහිටි ජාතික බෝවන රෝග විද්‍යායතනයේ සේවයේ යෙදෙමින් කොව්ඞ් 19 වසංගතය මර්දනය කිරීමේ කාර්යයේ නිරත වී  සිටින හෙද සේවිකාවන්ගේ නවාතැන් පහසුකම් වැඩි දියුණු කිරීමේ අරමුණින්  ඉදිකළ නව හෙද නේවාසිකාගාරය සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා ගරු අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මැතිණිය විසින් අද එනම් මැයි මස අටවැනිදා  විවෘත කරනු ලැබුවාය.  

කොවිඞ් 19 දරුණු ගෝලීය වසංගතය ශ්‍රී ලංකාවේ ද ආසාදනය වෙමින් පවතින ආවස්ථාවේ ඊට මුහුණ දීම පිණිස අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් පිහිටවනු ලැබූ කොව්ඞ් 19 වසංගත පාළන කාර්ය සාධක බලකාගේ රැස්වීමක දී අංගොඩ බෝවන රෝග විද්‍යයතනය වෙත හෙද නේවාසිකාගාරයක අවශ්‍යතාව මතුවූ මොහොතේ ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීමට එම බලකායේ සමාජික හිටපු යුධ හමුදාපති, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා පූර්ණ ලෙස මැදිහත් විය.  

ඔහුගේ මැදිහත්වීමෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි කොළඹ රාජකීය විද්‍යාලයීය ආදි ශිෂ්‍යන්ගේ ඊස්ට් කෝස්ට්  පදනමේ ලේකම් සේනක සෙනවිරත්න මහතාගේ සම්බන්ධීකරණයෙන්, එම සංගමයේ සභාපති වෛද්‍ය  සුකුමාර්  නාගේන්ද්‍රන් මහතාගේ රුපියල් මිලියන 15ක මූල්‍ය ප්‍රදානයෙන් මෙම අංග සම්පූර්ණ හෙද නේවාසිකාගරය ඉදිකිරීමට හැකිවිය.  
විවෘත කිරීමේ උළෙලට සහභාගී වෙමින්  සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා ගරු අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මැතිණිය සඳහන් කළේ, ජාතික බෝවන රෝග විද්‍යායතනය රටට ඇති ජාතික සම්පතක් බවයි . 

“මෙම රෝගය ගැන චීනයෙන් වාර්තා වූ මුල් අවස්ථාවේ සිටම අතිගරු ජනාධිපතිතුමා මේ ගැන ඉතාම උනන්දුවෙන් සොයා බලා කටයුතු කරනු ලැබුවා. ඉන් පසු මෙම රෝගය ලංකාව පුරා ව්‍යාප්ත වීම වැළක්වීමට අවශ්‍යය නිසි ක්‍රියාමාර්ග ගනු ලැබුවා. ජනාධිපතිතුමාගේ සහ ගරු අගමැතිතුමාගේ නායකත්වය නිසා මෙම රෝගයේ ව්‍යාප්තිය අඩු කර ගැනීමට අපට හැකි වෙලා තියෙනවා. එහි එක් පියවරක් ලෙස, කොව්ඞ් 19 වසංගත පාළන කාර්ය සාධක බලකාය පිහිටුවා මෙම වසංගතය මර්ධනය කිරීමට අවශ්‍යය උපාය-උපක්‍රම සකස් කරනු ලැබුවා. එහි සාමාජිකයෙකු වන ජෙනරාල් දයා රත්නායක මහතා නොසිටින්නට මෙම ව්‍යාපෘතිය නොවන්නට ඉඩ තිබුණා,” අමාත්‍යය  වන්නිආරච්චි මැතිණිය ප්‍රකාශ කළාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය මෙසේද  සඳහන් කළාය,”ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අධක්ෂකතුමා ඇතුළු සියලුම කාර්යය මණ්ඩලය මේ අවස්ථාවේදී ජාතියට සිදුකරන සේවාව යළි යළිත් අගය කළ යුතුයි. මෙම වසංගතය තුරන් කිරීම සඳහා තම ජීවිත පරදුවට තබා සේවා කරනු ලබන නාමික වශයෙන් ප්‍රශංසා නොලබන වීරයින් රාශියක් සිටිනවා.  ඒ සියලුම දෙනාට තව තවත් ධෛර්යය ලැබෙන්න කියා මා ප්‍රාර්ථනය කරනවා. එසේම මෙම ව්‍යාපෘතියට මූල්‍යය සහයෝගය ලබා දුන්  වෛද්‍යය සුකුමාර් මහතාටත් ජාතියේ ප්‍රණාමය හිමි වෙනවා.”

ඉන් පසු, ශ්‍රී ලංකාව වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා උත්සව සභාව අමතමින් අතිගරු ජනාධිපතිතුමා විසින් පිහිටුවනු ලැබූ කොව්ඞ් 19 වසංගත පාළන කාර්ය සාධක බලකාය ගැන කෙටි පැහැදිළි කිරීමක් කළේය. එසේම මෙම ව්‍යාපෘතිය ඉතාම කෙටි කාලයකදී සම්පූර්ණ කිරීමට දායක වූ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ  නිලධාරීන්ටත්, ශ්‍රී ලංකා ගුවන් හමුවාවේ නිළධාරීන් ඇතුළු සියලු දෙනාටත්,  අංගොඩ පිහිටි ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂකතුමා ඇතුළු සියලුම කාර්යය මණ්ඩලයටත්, නේවාසිකාගාරයේ ඉදිකිරීම් කටයුතු සිදුකළ  පුද්ගලික සමාගමේ සියලු දෙනාටත් ස්තුති කළේය. 

එහිදී වැඩිදුරටත් අදහස් දක්වූ ජෙනරාල් දයාරත්නායක මහතා මෙසේද සඳහන් කළේය, “වත්මන් ජනාධිපතිතුමාගේ නිවැරදි නායකත්වය සහ නියමිත කාලයට ගන්නා තීන්දු තීරණ නිසා අපි රටක් ලෙස මෙම වසංගතයට එරෙහිව කටයුතු කිරීමේදී ඉතාම හොඳින් මුහුණ දෙමින් සිටිනවා. එසේම, වෛද්‍යය සුකුමාර් මහතා ඇතුළු මීට දායක වූ සියලුම දෙනාගේ දායකත්වයෙන් මෙම ව්‍යාපෘතිය මේ අකාරයෙන් සම්පූර්ණ කිරීමට ලැබීම ගැන මා ආඩම්බර වෙනවා. අනාගතයේදී මීට වඩා විශාල ව්‍යාපෘතියක් සඳහා අවශ්‍යය සැලසුම් මේවන විටත් අපි සකස්කොට තිබෙනවා.”

උත්සව සභාව ඇමතු ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂක වෛද්‍යය හසිත අත්තනායක මහතා සඳහන් කළේ මෙම නේවාසිකාගාරය රෝහළට අතවශ්‍යයව තිබු බවයි. 

“මීට පෙර අපට හැකි වුණේ හෙදියන් තිස්දෙන්කුට පමණක් නේවාසිකාගාර පහසුකම් ලබා දීමටයි. හෙද නිලධාරිනියන් 150 ක් පමණ සේවය කරනු මෙම රෝහලට මෙවැනි පහසුකමක් ලැබීම ඇත්ත වශයෙන්ම විශාල සහයෝගයක්. විශේෂයෙන් කොවිඩ්-19 අධි වසංගත තත්වය ප්‍රකාශ කළ පසුව මෙම රෝහලේ වැඩ කරන බොහෝ දෙනෙකුට නවාතැන් පහසුකම් අහිමි වුණා. ඒ වගේම ඇතැම් සේවකයින්ට තම නිවෙස් වල සිට යළිත් සේවයට වාර්තා කිරීමේ දුෂ්කරතාවයන් වලට මුහුණ දීමට සිදු වුණා. ඒ නිසා, මේ නව හෙද නේවාසිකාගාරය මගින් අපට තිබුණු විශාල ගැටලුවක් විසඳෙනවා,” වෛද්‍යය හසිත අත්තනායක මහතා ප්‍රකාශ කළේය. 

මේ අතර, උත්සව සභාව ඇමතු කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති බී.ඒ. අබේරත්න මහතා සඳහන් කළේ, රාජකීය විද්‍යාලයේ ආධි ශිෂ්‍යයන් මෙවැනි සමාජ සතකාර කිරීම විද්‍යාලයට මෙන්ම රටට මහත් ආඩම්බරයක් බවයි.  

මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍යය දායකත්වය ලබාදුන් වෛද්‍යය සුකුමාර් මහතාගේ පවුල නියෝජනය කරමින් උත්සව සභාව ඇමතු වෛද්‍යය නීශා රොක්වුඩ් මහත්මිය, මෙවැනි ව්‍යාපෘතියට සහයෝගය ලබා දීමට හැකිවීම තම පරම්පරාවට ලැබුණු මහත් භාග්‍යයක් ලෙස සලකන බව සඳහන් කළාය. 

නව හෙද නේවාසිකාගාරය විවෘත කිරීමේ උළෙලට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂක කපිතාන් අතුල හේවාවිතාරණ, නියෝජ්‍යය කළමනාකාර අධ්‍යක්ෂක උපාලි ද සොයිසා ඇතුළු ශ්‍රී ලංකා වාරාය අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ඇතුළු රාජ්‍යය සහ පෞද්ගලික අංශ නියෝජනය කරමින් ආරාධිත පිරිසක් සහභගී වූහ. රටේ පවතින වසංගත තත්වය  මූලික කර ගනිමින් මෙම උත්සවය ඉතාම චාම් ලෙස පැවැත්වීමට සංවිධාන කමිටුව තීන්දු කළේය. 

වර්ග අඩි 3300ක බිම් ප්‍රමාණයකින් යුක්තව, කාමර 16කින් යුක්තව ඉදිකරන ලද මෙහි හෙද නිළධාරීන් තිස් දෙදෙනෙකුට (32) නේවාසික පහසුකම් සැලසේ. එමෙන් ම මෙම නේවාසිකාගාරය සඳහා අවශ්‍ය සියළු ම ගෘහභාණ්ඩ සහ අනෙකුත් පහසුකම් සියල්ල සපයා ඇති අතර, මෙම නේවාසිකාගාරය භාර දුන් මොහොතේ පටන් එය භාවිතා කිරීමේ හැකියාව හෙද නිළධාරීන්ට තිබේ.   මෙම ව්‍යාපෘතියට  තාක්ෂණික සහය ලබාදෙමින් මෙහෙයවනු ලැබුවේ ශ්‍රී ලංකා වරාය අධිකාරියයි. 

 

ව්‍යාපෘතියේ තොරතුරු ඇතුළත් පොත් පිංච

සමාරම්භක උත්සවය